සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

අදත් වැහි දවසක්......

පංසලේ ගේට්‍ටුවෙන් හිමින් හිමින් ආපු ඇත් රාජයෙක් වගේ කලුපාට මෝටර් රථය දානශාලාව ගාවට පි‍ටුපස්ස හරවල නැවැත්තුව..

අයියා ... පොඩ්ඩක් ඉන්න මාත් එනව..
උඩහ ගෙදර පොඩි නංගි එක්ක ඉස්සර පංසල් ආවම මාත් එහෙමයි.. පඩි පෙළ ගාවින් පහලට දිව්වම ආපහු එන්නෙ කන්ද උඩහ චෛත්තිය ගාවින්..

"බබා ටේකෝෆ් යුව්ර් ස්ලිප්ර්ස්.."

ගොඩක් හුරුපුරුදු හඬක්.. මම හවස බණට ලිය ලිය ඉඳපු කවිබන කොලේ පොතක් අස්සට දාලා ඒ හඬට තව ටිකක් කන් යොමාගෙන හිටිය...

වේගෙන් ආපු හුළඟකට බෝ ගහේ කොල කීපයක් බිම වැ‍ටුන.. අපරාදෙ මම උදේ අතු ගද්දිත් ලොකු හාමුදුරුවො කිව්වා පොඩි නම ආපහු හවසට අතු ගන්න වෙයි අද ටිකක් හුලං සැරයි දවල්ට වහී වගේ කියල

ඉස්සර වලව්වෙ චූටි නෝන මිදුල අතු ගාන්නෙත් මම කිරි බෝතල් දෙක අරං වලව්වට යන වෙලාවටමයි.. මම කිරි බෝතල් දෙක දීල එද්දි චූටි නෝනගෙන් ඉදල උදුර ගන්නව..

දෙන්න මම අතු ගාන්නම් චූටි නෝන..
එයාගෙ රෝස පාට කම්මුල් දෙක ඇකිලිලා ආදරෙන් ගුලි වෙද්දි මට ලස්සන හිනාවක් පේනව.. ඔව් අදවගේම මතකයි..
කෝ ලොකු හාමු..?
තාම නිදි සිරිමල්..
ලොකු හාමු නිදි පොඩි හාමු අතු ගානව... චූටි නෝනත් නිදාගන්නකො දවල් වෙනකන්.මම එහෙම කියල චූටි නෝනට ඉදල දීල එන්න හැරුන
එතකොට මට සිරිමල් බලන්න වෙන්නෙ නෑනෙ...
මම තප්පර දෙකක් ගල් ගැහුන.. වේගෙන්ම දුවගෙන ආව බඩ වැටිය ගාවටම.. රත්තිය මාව දැකපු ගමන් නැගිටල ආව..
අනේ තව කිරි බෝතල් දෙකක් දියන්කො.. මට රත්තියට එහෙම කියන්න හිතුන..
මුලු ඇලේම වතුර එක හුස්මට බොන්න තරම් තිබහයි..

පෝඩි නම..කොලඹ මහත්තයෙක්ගෙන් අද දානෙ.. පොඩ්ඩක් ඒ පැත්තට වැඩියනම් කලමනා ටික සූජානම් කොරල දෙන්න..

මම අඳනකඩේ තදකරගෙන සිව් ර ගත්ත අතට... මට මතක් උනේ ගෙදරදි ඉස්සර නාන්න ඇල ගාවට යනහැටි..

සරමත් ඇඳගෙන සාලුව කරේ දාගෙන හිමින් හිමින් ඕවිට ගවින් ගුරුපාරට එනව..

ආ සිරිමල් නාන්න යනව වගේ..
චූටි නෝනල නාලත් එනව..
අපිට කතාකරන්න ඉඩ දීල සඳලතා ඉස්සරහට ඇවිදගෙන යනව...
සිරිමල් ඇයි පරක්කු උනේ..?
අද ගොයම් කපන දවස චූටි නෝනෙ.. ටිකක් දවල් උනා..ඉරත් හරිම සැරයි ඔලුවත් රිදෙනව..
එහෙම කියද්දිම චූටි නෝන මගේ අත අල්ලගෙන
හානේ ගොයම් කොලවලට අතත් ගොරෝසු වෙලා... රිදෙනවද..?
සඳලතා හැරිල බලල ලැජ්ජාවෙන් අහක බලා ගත්ත..
මෙච්චර වෙලානම් රිදුන චූටි නෝනෙ.. දැන්නම් මට අත තියෙනවද කියලවත් තේරෙන්නෙ නෑ..
චූටි නෝන මගේ අත ගසා දාල අනික් පැත්ත හැරිල බෝවිටිය මලක් කඩා ගත්ත..
මල කෝලං.. අල්ලන්නෙම නෑ ආපහු අත තුවාල උනත්.. අම්මප..
මේ පාරත් අස්වැන්න සේරම වගේ හාමු මහත්තයට දෙන්න වෙනව චූටි නෝන
තාත්තගෙ බෙහෙත් වලට අපි ගොඩක් සල්ලි පොලියට ගත්ත..
බෝවිටිය මල කරකව කරකව බෝවිටිය මලක් වගේ දම්පාටට දිලිසුන චූටි නෝනගෙ ඇස් දෙක කඳුලු වලින් පිරුන..
මට සමාවෙන්න සිරිමල්.. අප්පච්චියි මායි දෙන්නෙක්.. මමත් එනව සේරම දමල ගහල ඔය ගාවට.. අපි දෙන්න එකට දුක් විඳිමු සිරිමල්..?
මම වැඩිය හිතන්නෙ නැතුව කිව්වෙ චූටි නෝනෙ.. එහෙම කියපු මම ඇලේ වතුර තාමත් බිංදුව බිංදුව බේරි බේරි තිබුනු කෙහෙ‍රැලි අස්සෙන් චූටි නෝනගෙ ඔලුව අත්ගෑව..
චූටි නෝන..ඒ සඳාගෙ හඬ..
මම යන්නම් සිරිමල් පරක්කු වෙනව...

මම සිව් ර ඇඳගෙන වැලි මලුව දිගේ ඉස්සරහට ඇවිදගෙන ආව.. අද පසලොස්වක පෝය..රෑ වෙන්නත් කලින් පුරා හඳ අහසට ඇවිත්..
නංගි අර.. සාදු කෙනෙක්..
චූටි උපාසක මහත්තයෙක් මාව දැකල ඇවිත් සිව් රෙ එල්ලුනා.. ඊ ට පස්සෙ චූටි උපාසක නෝන...
සාදු අයි කොන්ඩෙ කපල ඉන්නෙ..
සාදුල එහෙම තමයි පුතේ..පුතගෙත් කොන්ඩෙ කපල මහන කරන්නද..?
සාදු සාදු ඇයි සාදුල හැමෝම එකවගේ අඳුම් අඳින්නෙ..?

අයියෝ සිරිමල් හැමදාම අඳින සරමයි බැනියමයි ඇඳන්ද කොළඹ යන්නත් ආවෙ..?
මට තියෙන්නෙ මේ සූට් එක තමයි පුංචි නෝනෙ මේ වගේ වැදගත් වැඩ වලට අඳින්න..
පුංචි නෝනෙගෙ උපාදි වැඩ ඉවර වෙන්න ගොඩක් කල් යාවිද..?
ඔව් අවෘදු තුන හතරක්..
සිරිමල් මට හැමදාම ලියන්න හොඳද..
මට රජයේ ලොකු රස්සාවක් හම්බුනාම අපි මෙහෙන් යමු..
මට පුලුවං අපි දෙන්නටම කන්න අන්දින්න දෙන්න..
චූටි නෝනෙ නැතුව මම එච්චර කල් කොහොම ඉන්නද..
මුලු ගමම පාලුවට යාවි..
සිරිමල් මේ බඩු ටික වාහනේට දාල නැගපං පිටිපස්සෙං..
දුවා.. කෝ ඔයා.. එන්න දැන් රාහු කාලෙ ඉවරයි ඉක්මන්ට යමු..
අප්පච්චි කතා කරනව..මම යන්නම් සිරිමල්.. පරිස්සමින් ඉන්න.. බුදු සරනයි..
චූටි නෝන කඳුළු පුරවගෙන ගෙට දිව්ව...

අහසෙ ලොකු අකුනක් කෙ‍ටුව.. මම දර්මශාලාවි කොනකට වැඩිය..
බබා... ආපහු සුපුරුදු හඬක්.. බබාල දෙන්නම අතුලට දිව්ව.. මහ හයියෙන් වැස්සක් පටන් ගත්ත.. වහලෙන් කානුවට වැටෙන වතුර චික් චික් ගාල සිව් රටත් ඉහෙන තරමට වැස්ස තද උණා..

එදත් මේ වගේම වැස්ස දවසක්..ලෙඩ ඇඳේ හිටපු තාත්තගෙ ඇඟට දිය වෙච්ච මැටි බිත්තිය ටිකෙන් ටික පහත් වෙලා.. මට මේ ලෝකෙ හිටපු එකම නෑදෑය ඒ පස් අස්සෙ හන්ග ගත්ත... මම දුවගෙන දුවගෙන ඇවිත් පස් ගොඩ හෑරුව... මුලින්ම අහු උනේ මට ගමනක් අඳින්න කියල එල්ලල තිබුන එකම ශර්ට් එක.. කුඩු වෙලා ගිය බත් හට්ටිය.. ඊට ටිකක් මෙහයින් ලනු ඇඳේ විට්ටම.. අන්තිමටම තාත්තගෙ අහිංසක මූන...

වැස්ස අඩු උණා මම හිමින් හිමින් දාන ශාලාව ඇතුලට ගියා.. ලොකු හාමුදුරුවොත් වැඩල ඉන්නව.. මම ගිහින් ඊට මෙහායින් පොඩි පු‍ටුවෙ වාඩි උනා.. ලොකු හාමුදුරුවො එදා අපේ ගේ ගාවට ඇවිත් කඩන් වැ‍ටුනු සුන් බුන් දිහා බලාගෙන කිව්ව වගේම ලස්සන බනක් කිව්ව..

උපාසක නෝන දැන් කොළඹමද පදිංචිය..? ගම්පලාතෙ එන්න අදහසක් නැද්ද දැම්ම..ලොකු හාමුදුරුවො දන් පිලිගන්න ගමන් එහෙම ඇහුව
මේ බබාලගෙ වැඩයි එහේ බිස්නස් වැඩයි ජොබ් එක්ක කොහොම එන්නද අපේ හාමුදුරුවනේ..

පොඩි හාමුදුරුවො මාළු වලඳනවද..? ඒ චූටි මැනිකෙගෙ හඬ
මම අතින් පිඟාන වැහුව...

Followers

Powered by Blogger.