සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

සාජහන්ගේ අටවෙනි පව්ලට හෙවත් මගේ නංගීට....

9:12 PM

තෙමා මතකය දවා හදවත ගලා යයි යමුනා නදී
දමා ගිය මා නිසල සිරුරකි නමුත් සෙනෙහස ඇත ‍රැඳී
නිමා කළ ඒ වසන්තය අග උවත් යහනත නිදි බිඳී
සමා වෙනු ඒ මගේ නැගෙණිය උඹේ ළඟ කිමදෝ නිදී..?

බොළඳ ආදර ගරුඬ මැදුරත ආදරේ හෙළු වැලි වනා
විළඳ පොවනා ගිරවි දහනක මලවි ‍රැඟුමන් පා වෙනා
නොලද එළි දාහතර වැනි පුතු සිහිනයක් සේ මට ගෙනා
එයද සැපතකි උඹේ සුවයට වඩා මරණය සැතපෙනා

සියක් පෙති ඇති මලක් මත බඹරෙකිය සිටි පර වෙනතුරූ
ගොඩක් මැද මා තවත් බිරිඳකි ආලයක් නොව පිවිතුරූ
සඳක් සේ ලෝකයට පෙන්නූ කිඹුල් කඳුලැලි නිදි වැරූ
අතක් අල්ලා මගේ නැගෙණිය දුක නොවේ ඒ කය දැරූ...

නිරුවතින් බබළනා තව ඇති ටජ් මහල් ආදර ලොවේ
සාජහන්ලා හමුවෙලා ඇති බෙදා දෙන ආදර් සුවේ
රාගයට මිස ආලයට ලොව වඩා වැඩි ආයුෂ නොවේ
නැගෙනියනි නුඹ මධුවිතකි ගත් නැති වෙනා තුරු රස දිවේ....


                                                                              -මුම්ටාස්- 
Read On Comments

හිඟන්නාගේ මරණය හෙවත් පොරකගේ නික්මයාම

8:33 AM

පෑගෙන පාවහන් වල දූ විල්ල වැදී
පීදෙන කැකෑරෙන වණයට විඩා නොදී
ජීවන සුසුම අවසන් බිඳු පිටට ඇදී
නොහඬන මල ගෙයක මිනියක් වැතිර හිඳී....

ටකරන් බෙලෙක් මහ මග සොලවා සරන
අට පහ මුරය බස් තෙරපිලි නොම දකින
හතරට නැවී ලොක්කන්ගේ පා ලොවන
උන් ළඟ රජෙක් විය ඔහු සිඟමන් යදින

ඉනි වැට නොමැත ගහ ගන්නට හතර වට
පොත් නොමැත බැංකුවෙ ලිය වුණ නමට
අය වැය බදු බරින් තොර වූ දිවියකට
කෙළවර ළඟා විය දුක ඒකයි හිතට....

විල්ලුද පලස් රස මසවුළු වල සුවය
දු‍ටුවද නොලැබ පසු විය හැත්තෑ නවය
වැහුවද අපිත් ණය වී ශෝභන බවය
මතුවද හිඟන්නෙක් නොවෙණා එක පවය...
Read On Comments

ප්‍රේමයනම් රාගයෙන් තොර..

8:22 AM
කතර බට වැහි පොදක් වන් සිත මතින් ගලනා ස්නේහයේ රස
අතුර දිය මත ඇගෙ සිනිදු වත මා එළිය සඳ කිමිදි එහි බැස
සතර අත සක් හඬින් නළවන මිහිරි තෙපුලින් මද පවන් ඉස
අඳුර එනු නුඹ ගැබට හෙමිහිට වසා නා දළු ‍රැඳුණු තුරු හිස


පිපෙන නෙළුමක සුවඳ මුසු කොට තැනූ ලවනත පොපියනා යස
කෙසේ සිප ගනිමිදෝ නවතා ඇගේ හුරතල් සොඳුරු මදහස
බලා දිදුලන දෙනෙත් තරු කැට කුමට වසමිද දෙතරු අවපස
නොසෙල් වෙන සිත කිසිත් නො අසයි ඇගේ දයාබර උණුහුමම මිස..


රාගයෙන් තොර නැගෙන මධු සඳ ප්‍රේමයෙන් වැඩි ගිරි මුදුන් පිස
වරණ නිදි රෑ පමණි සේව්වෙ බිඳින කෙහෙ‍රැලි ඇගෙ සිනිඳු හිස
කල්පයක් තව සිටිය හැකිනම් තබා ඇස් දිදුලන උවන දෙස
මධු සමය නම් එයම පමණයි ආදරේ වැහි වැටෙන යට කුස
.. 
Read On Comments

මා රහත් වී ඇත..

4:26 AM
නෙක සලු කුමට මැරුනම දිය වෙන ඇඟට
ඩෙනිමම අඳිමි ඉ රුනම ගමි ශෝටකට
රන් මුතු මැනික් සෝබනයෙන් කන කරට
අශා නොමැත නොව මේ දුප්පත් කමට...

පඩි පෙල වගේ නොහදමි දරුවන් පෙලට
එකෙකුත් වැඩියි කම් සැප නොදකින හිතට
බිරිඳත් අනාගාමී වී දෝ කුසට
අහරක් නොගෙන අනිමිස යේ මයි රෑට

ගත්තත් ඉඩම හෝටල් සංවර්දනෙට
කැපුවත් හාල් පොත තිබිලා මගෙ නමට
එතුමා දු‍ටුව විට එන මහ චන්දයට
වයිරය ප්‍රහීනය හිත දෙමි කතිරයට...


ඇලුනත් කුසම අහරක් නොදැකම පිටට
කැම්පස් වහපු පුතු දන් දෙමි බමුනෙකුට
පුදුමයි රහත් වුන හැටි මේ ඉක්මනට
පංසල් නොගිය අපිවත් පොඩි වැස්සකට..!!
Read On Comments

පන්නා ය..වහ.න්..!

4:21 AM
බලන විට ලඳ අහංකාරය
ඈඅ බලද්දී මට විකාරය
හිතන් ඉන්නේ මාර පාරය
බැඳල ඉන්නේ නම් කුමාරය

ඉ රුව පෙම්සුව නැතුව ඉන්නටම බැරුව
මැරුව නිදි අපමනය තුන් තිස් වරුව
ඔරුව ඇද්ද අව් රුද්දක් මම සරුව
දරුව ලැබෙන්නට ආවම දුටි තරුව

කුමාරයා කැත්තට පොල්ලයි පරහ
ආරන්චිය ආපු ගමන් ගියෙ තරහ
බඩක් හදා ගත්තේ උඹ වගෙ කොරහ
රට ඉඳිද්දි කොහොමද මුහුදක් හරහ…?

ඌ එක්කම ‍තෝ දිගටම ලව් කරහන්
කියල එව්වෙ මට සිහිකර ගුන අරහන්
අම්ම කිව්වෙ මඩු වලිගෙන් මට තලහන්
තාත්තනම් දෙන්නම පන්නා යවහන්
Read On Comments
Read On Comments
Read On Comments

මම ඇයව දූශනය කලෙමි...

3:45 AM
දෙනෝ දාහක් ඉස්සරහ
බස් නැවතුමේ
හිරිපොද වැස්සෙ
එන එන බස් එක
නැවත්තුවත්
ඇය යන බස් එක
පමා වෙලා
මමත් ‍රැක ගෙනම ඉඳිය..
අන්තිමට ඒ බස් එකටම නැග්ග
කුඹුක් ගහ ගාවින්
බැහැල ඔවිට දිගේ එද්දි
හොඳටම බිං කළුවර..
අනේ අයියෙ
පුලුවන්නම් මාව
ගෙදරට ඇරලවල යන්න..
කදිම අවසරය..
පාලු අම්බලම ගාවදි
වැස්ස සැරයි..
යටි හිත ඇයත් ඇද ගෙනම
අම්බලම අතුලට ගියා..
තෙමුනු සුදු ගව්ම
ඇඟටම ඇලිල
මූන පිනි ජම්බු ගෙඩියක් වගේ
රෝස පාටට මම දිහා
බලං ඉන්නව වගේ
කෑලි කැපෙන අඳුරෙ
ඇය තවමත් මුල්ලකට
ගුලි වෙලා
කෑ ගැහුවත් ඇහෙන්න
කෙනෙක් නෑ..
හයියෙන් අකුනක් පිපිරුව..
මම ඒ එලියෙන්
ඇයට තවත් කිට්‍ටු උණා..
..............
.......
.....
....................
......
වත්තෙ ගෙදර මාම
අපි දෙන්න හිමින් හිමින්
යද්දි
ඉස්සරහට දුව ගෙන ආව..
බය වෙන්න එපා තාත්තෙ
අයිය මාව පරිස්සමට එක්කන් ආව..
ඇය ආදරෙන් මගේ දිහා බලල
තාත්ත එක්ක ඈතට ගියා..
ඔව් මම එයාව පරිස්සමට එක්කන් ගියා..
ඒ ත් මම එද්දි
මගේ යටි හිත
දෙවනි වතාවටත් අම්බලමෙ
ඇයව දූශනය කරනව.....
Read On Comments

පහන් කනුව

2:54 AM

සුරංගනාවිය
අහින්සකාවිය
පහුගර ගිය රිය
නලාව හැඬ විය
ඒ වෙත දිව ගිය..
මෙනවිය
මිය විය..
පියා දාල ගිය
අම්මා මිය ගිය..
ලෙඩ උන නංගිය
මල්ලි උපාදිය…
ගේ උගසට ගිය
පැතුමන් බෝ විය..
ඇයට හිනා විය
දහසක් වැරදිය...
වැරදි කරන අය
නොවේ සමාජය.
දු‍ටුවේ ඇගෙ ලය
සහ සෙලවෙන පය........

Read On Comments

මතකය.....

2:53 AM

දඟකාර
හැඩකාර
වසේකාර
කටකාර

පොඩි හාමිනේ දැන් මිදුලට වෙලා..
කාර….කාර…


Read On Comments

ඈ යන්න ගියා..

2:52 AM

කවදාවත්ම මාව දාල යන්නෙ නෑ කියපු ඔයා
අද මාව දාල කොහේදෝ ඈතකට ගිහින්…
වෙනද හුරතලේට වහන් ඉඳපු ඇස්
අද සදහටම වැහිල………………
අඬන්න මට බෑ රත්තරනේ
මුලු ලෝකෙම ගල් වෙලා
කඳුලු සේරම එක විනාඩියකින් ඉවර කලා..
අපි අත් අල්ලං ගියපු මල් වත්තෙ
හැම මලක්ම බිම බලාගෙන..
හෙටත් එන්නම් කියල ඊයෙ මගෙ දිහ යන්නෙ නැතුව ගොඩාක් වෙලා
ඔයා අහින්සක විදියට බලං ඉන්න කොට
ඒ ඇස් මට කිව්වෙ නෑ
ආපහු කවදාවත් ඔයා නේන බව..
අන්තිමට අස් දෙක වහන් මේ විදියටම හිටියෙ
හැමදාම වගේ තොල් පෙති ගාව
මම අදරේ තියනකන්..
ඒ අන්තිම උනුහුම
තාම තුරුල් වෙලා හදවතට..
මලානික ඉර ඈතින් බැහැල යද්දි..
වෙනද අපි හෙවනැලි ඇඳපු සුදුපාට වෙරල
ලස්සන කුටියක් හදාගෙන බලං ඉන්නව
මගේ ආ ඔයාව මගෙන් හන්ග ගන්න..
අපි මුලින් මුනගැහුන බස් හෝල්ට් එකට මම අදත් ගියා
ඔයා එතන එදා වගේම සුදුපාට සල්වාරි එක ඇන්දන් ඇති කියල..
අපි ඇවිදපු හැම පාරකම මම ගියා රත්තරනෙ..
ඔයාගෙ සුවඳයි..ඉහිරුනු මතකයයි
තනි උන කඳුලුයි අරං
මම තාමත් අවිදිනව..
ඔයා වෙනද වගේම අහින්සක විදියට
ගෙදර ලස්සනම යහනතක...
අපේ වෙඩින් එකට බැලුව සාරියටත්
වඩා ලස්සන සාරියක් ඇඳගෙන..
ආදරේ හැම අකුරක්ම කියල දීපු ඔයාගෙ
අන්තිම පාඅඩම මේක වෙන්න ඇති..
මම මැරෙන්නෙ නෑ පැටියො
ඔයා කිව්ව වගේ මේ ලෝකෙ ඉන්න හොදම පිරිමිය මම..
ඒ ත් කවදාවත්ම ගැහැනියකට ආදරෙ නොකරන..
ඔයගෙ තැන ගන්න කාටවත්ම බෑ..
අපි අන්තිමට මුන ගැහුනු
ගඟ ගාව
බන්කුව උඩට
මම හැමදාම හවසට
ඒ වෙලාවටම එන්නම්..
ඔයාට නිවන්සුවනම් ලැබෙන්න එප දෙයියනේ
මට අපහු කවදා හරි ඔයාවම ඕන..
හැමදාම වගේ කියන්නම් අදත්..
පරිස්සමින් යන්න පැටියෝ.

Read On Comments

නැන්දම්ම ලේලි

2:51 AM

තැඹිලි පැහැ අහස යට
නිල් පාට කපු‍ටු ‍රැල..
කලු පාට තඹිලි ගෙඩි
උඩින් කොල පාට ඉර..
රතු පාට හඳ ගාව
කහ පාට වලාකුල..
පූසො පන දා දුවන..
මීයො උන් ලුහු බඳින
බල්ලො පියඹා යද්දි
ගිරව් බුර බුර ඇවිද
හරක් මව විලි බරව
බිත්තරයක් දමන
නයෙක් උගෙ කූඩුවේ
මාලු තුඹසට ඇදේ..
තල්මසෙක් අල්ලගෙන
හාල් මැස්සෙක් ගිලී..
.
මේ අතර
තව තැනක
හිසෙ උකුනන් සොයන
නැන්දම්ම ලේලි ලඟ
ආදරෙන් සිනාසේ....
ඔන්න දැන්නම් ෂුවර්..
හීනයකි යකෝ මේ..
Read On Comments

චටාස්............පටාස්.....

2:50 AM

කසුන් වනේ සුදු සඳුන් නෙලා
නුඹ ගතේ උලා පිරියම් කරලා
මල් වලින් උරා රොන් රේනු සලා
ඉඟ වටේ ඔතා ඒ සුවඳ කවා
දුන්හින්දෙන් ගෙනා මීදුමක් එලා
රන් හිසේ ගොතා කෙස් වැටිය සදා
දේදුන්න වටා නිල් මැනික් ඔබා
සත් පාට වලින් ඇස් බැම්ම හදා..
රන් පාට පියුම් පෙති දෙකක් කඩා
නාදල්ල ලඟින් තොල් පාට කලා
සුදු හන්ස යුවල අත්ත‍ටු පුම්බා
ඉන්නවා වගේ මොට්‍ටුවක් තබා..
ඉඟ සුඟ ගන්නට හැකිදෝ මිටිනා
ලන් වෙලා බලුව මට ආස නිසා..
.
.
චටාස්............පටාස්..............
.
.
රිය සක වාගෙද පුලුලුකුල කියා
නොබලාම අනේ මම යන්න ගියා............
Read On Comments

හඳට මල පැනල..

2:50 AM


කව්ද යකෝ කිව්වෙ
මම ගෑනියෙක් කියල..
දයාවතී
කරුනාවතී..
මම..
හඳවතී..
කව්ද බං මේ බොරු ගොතන්නෙ..
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා..
යකෝ තුන් පාරක්ම හොරෙන් බලන්න
මට අන්ද කයිප්පුද..
කව්ද මේව ලියන්නෙ..
මම හොරෙන් කුටියට රින්ගුවලු..
උන්ගෙ පෙම් කතා අහන් ඉදියලු..
එකෙක් කියනව මම කන්ද කපා නග්ගලු..
ඒ බන් මම බුල් ඩෝසරයක්ද..
අඳුර ඉ රුවලු..
ගැනිගෙ ඇඟිල්ල කැපිල
සරම ඉරා ගන්න බැරි උන මම
කොහොමද හරක් පැටියො
අච්චර ලොකු අඳුර ඉරන්නෙ..
උඹල පොඩි කාලෙ මාමෙ මාමෙ ගගා
අම්මටත් වඩිය මගෙන් කිරි ඉල්ලුවෙ..
යකො මුං ඇටෙන් පොත්තෙන් ආපු ගමන්
මේ එල කොල්ලෙක් වගෙ ඉන්න මම
සඳවතී..
යන්තං ඩිංඟක් මාසෙකට පාරක්
පොඩි චේන්ජ් එකකට
රව්මක් ගැහුවම
සඳ හැන්ගිලලු
අයි යකෝ හැන්ගෙන්නෙ මම අහවල් වරදක් කරලද..
ඊ ලඟ ආත්මෙවත්
කවියො නැති
ලව් කරන ඇව්න් නැති මන්දාකිනියක
ඉපදෙන්න ඕන..
Read On Comments

තෙල

2:49 AM
මේ දනේශ්වර ක්‍රමය තියනකං
අපිට කවදාවත් සමාජවාදයක් ගැන හිතන්න බෑ ම්ල්ලිලා..
අන්න ඒකයි අපි මේ
දූශිත තක්කඩි පාලනය පන්නන්න
හෙට ලිප්ටන් වට රව්මට එකතු වෙන්න ඕන,,,,
අදිරාජ්ය වාදින්ගෙ බලල් අතවල් නොවී
අපි නිදහස සමාජවාදී පන්ති බේදයක් නැති
ආන්ඩුවක් හදන්න ඕන.
උඹල තමයි අනාගතයේ ඒ ආන්ඩු ක්‍රමයෙ යෝද නියමුවො..
සුමනසිරි සහෝදරය මොකද පිටිපස්සෙ
එන්න එන්න ඉස්සරහට..
ඔහොම බැ මේ ගමන යන්න
එන්න සහොදරය ඉස්සරහට..
....
....
ඊ යෙ පිකටින් එකට ගහලලු නේ...
කුමාරසිරි සහෝදරයට හුඟක් අමාරු ඇති..
ඊ යෙත් මෙතන කොච්චරනම් දේශන දුන්නද..
මොන පිස්සුද බන්..
අන්න සුමනසිරිට නං හොඳටම අමාරු වෙලා
දැඩිසත්කාරෙලු..
Read On Comments

sexy කනා මදිරියා

2:49 AM

අහකට ගනින් උඹේ ඔය
ලියිට් දාපු පස්ස..
ආව මෙතන
කෑල්ලක් නැති
මාවම
කුලප්පු කරන්න.

Read On Comments

උම්බෑ

2:46 AM

පාර පැනීමේ වරදට
දඩ කොලයක් කන විට
පාරේ යන ලොරියකින් උම්බෑ හඬක් ඇසුනි…...
Read On Comments

කෙල්ලන්ගෙ ෆොමික් අම්ලය

2:46 AM


ඔබ..
කුහුඹුවෙකු සේ
මගේ හිත පහුරු ගාපු
අරුමය මට දැනුනෙ
පිටිපස්ස හරිල
ෆොමික් අම්ලය පොඩ්ඩකුත්
තවරල ඈතට
ගියාට පස්සෙ....
Read On Comments

රූම් එක සහ බූරුව පොල

2:45 AM

මැද පිටියෙ කූට්ටම
කපන උන් පොඩි ගනන්
වටේ එබිල බලන
උන් ඔට්‍ටු ලොකු ගනන්..
ටෝන් බෝතලේ ලඟ
වයස නෑ ප්‍රශ්නයක්..
පැදුර උඩ දවල් රෑ
නෑ කිසිම බේදයක්..
පොලිසිය පැන්නම.....???
හික්...
බූරුව ගහුවත් එකයි
ගහන තැන බලන් හිටියත් එකයි..
Read On Comments

සසර

2:43 AM

පොඩි හාමුදුරුවෝ
දන් ගෙන ආපසු හැරෙන විට
අම්මා දන් කොඩ හූරනවා ඇසුනි....

Read On Comments

මළ මංගල්ලෙ

2:43 AM

අඹ ගහ යට
බන්කුව උඩ
ලොකු දොනියි
හෙට බෑනයි
මගුල ගැනයි
බර කතාව
මමත් වත්ත නෙලයි ලඟම…
උන් දෙන්නට නොපෙනෙන ලෙස..

සුදු අශ්වයො දෙන්නෙක් එයි
හෙට අපි කැන්දන් යනට
දිව්ය ලෝකෙ මල් කුමරියො
මල් අරගෙන ඒවි රෑට…
සුදු සේලය අන්දා සඳ
වලාකුලින් හැන්දෑවට..
එලිය කරයි මුහුන මගේ
වටේට පායපු තරු ‍රැස..
රන් කෙන්දක් අරන් ඉරත්
ඒ වි අපේ අත බඳින්න
අරගෙන සඳ දිය අහසින්
ඒවි අපේ
අත තෙමන්න...
අන්තිමේදි මදු සඳ විත්
රෝස මලින් යහන හදයි
බට්ටිච්චන් ආසිරි ගී
ගයනා විට අප පිටවෙයි....

ගම් තුලනෙ කොහේවත්ම
කාල නෑනෙ මෙහෙම එකක්
අමතක වී මට හිටිතන්
සතුට ගියා දෝරෙ ගලන්...

ලස්සන ෆ්ලොර එකටයි
ගලදාරියෙ ලොකු තැනටයි
ආසිරි ගී කෙල්ලන්ටයි
එපා කිව්ව අපිට උදව්...
අන්ඳන කෙල්ලටත් කියල
එපා කියල සාරි කේක්
ලිමොසින් වාහනේ පුතේ
එපා එනව අශ්ව ඩබල.......

Read On Comments

සුසිනිදු පහස

2:42 AM

මල් සේද යහනාව
ලජ්ජවේ නුඹ ගාව
නුඹේ සුසිනිදු පහස
වඩා සුසිනිදු ඊට
පුපුව උඩ නුඹේ හිස
වගේ සාවියක මට
කෙසේ තුරුලට ගම්ද..
හුරතලේ වැඩි කමට..
රන් සේද වලාවට
වඩා දිගු කෙහෙ‍රැල්ල
අතර මගෙ අඟිලි තුඩු
අතර මන් නොවේවිද...?
දහසකුත් හිරු සඳුද
පෑයු මුත් මා ලඟින්
නුඹෙ උනුහුම තරම්
උනුහුමක් දෙනේවිද..?

Read On Comments

‍ෆිට් ඔන් රූම් එක

2:42 AM

මම ODEL එකේ
‍ෆිට් ඔන් රූම් එක වගේ…
ඔයා එක එක දවසට
එක එක විදියට
මම ගාවට ආව...
මමත් හැමදාම ඔයාට
හොඳ නරක
පෙන්නල දුන්න..
ඒත් ඔයා ඒ හැම නරක දෙයක්ම මගේ ඇඟේ ගහල
හොඳ දේවල් අරන් වෙන වෙන අය ගාවට ගියා..
ඔයාගෙ ඒ හැම දේම දැකලත්
මම නොදක්ක වගේ ඉන්නව..
ඒ මගේ ගාවට අපු හැම
කෙල්ලටම වඩා
වෙනස් දෙයක්
අලුත් දෙයක්
ඔයාගෙන් හැමදාම
මම දැක්ක නිසා.............
Read On Comments

බේබද්දාගේ අදරය..

2:41 AM

බියර් පාට හැන්දෑවක
සෝඩ බුබුලු දනව වගේ ලස්සන පෙන
පාග පාග
ගල්ල්කිස්ස බීච් එක දිගේ
අපි දෙන්න ඇවිදන් යනකොට..
කොකාකෝල වගෙ රස ඔයගෙ
තොල් දෙකට ලන් වෙලා
චුට්ට චුට්ට
තොල ග ගා ඉන්න..
ටිකක් වෙලා යද්දි
අලුමිනියම් කොලයක්
උඩින් දුම් පාවෙනව වගේ
ලස්සන වලා කුලක් උඩින්
යන ගමන්
බ්‍රහස්පතියි ප්ලූටොයි ගලවල
ඔයාගෙ කන් පෙති වල එල්ලන්නම් ශුදූ මම..
පොලිසිය එන්නති ලස්සන
මල් වත්තක් මැද කුරුලු
ජොඩුවක් වගේ
ගුලි වෙලා ඉන්න තියනවනම්..
රෝස් චිකන් පාට
කම්මුලට හාදු දෙන ගමන්
වලාකුළු අස්සෙ අපි දෙන්න අතරමන් වෙමු
පිස්සු ලොකෙක..
.
.
......
අපි අතරමන් වෙලාම ඉමු පටියො
මට දැන් ටිකක් වැඩිය් වගේ....
Read On Comments

වල් වැදුනු මෙව්ව එක

2:40 AM











අහින්සක මිනිහෙක්
මරා දැමුවට
නාකි සිමියොන්..
බේරුනා නීතියෙන්
නැති නිසා එය
ඇසින් දු‍ටු වෙක්..
ඉහේ මල් පිපිලා
පනින විට
අලුත්කඩයේ පාරකින්..
ඇල්ලුවා යලි
නැති නිසා එහි
ඉරක් ඇඳ කහ පාටකින්..
මක්කොරන්නඩ
මිනීමැරුමට
එක්දහස් පන්සිය
දෙමින්..
ඌ යලිත් යයි පාර පැනලා
කහ ඉරක් ඇති පැත්තකින්.......
යලිත් නොකරමි
ඒ වගේ දඩ
කන්න වෙන වැඩ
මුමුනමින්.........

Read On Comments

ඉවස ගන්නට බැරිම දුක

2:39 AM

මට තුරුල් වී
දෙඩූ ආදර බස්
නුඹෙ ලඟ යයි දෝරෙ ගලා..
පුරා හඳ එන
විටදි පායා
ඇය එදා මට
උනුහුම උනා..
වරද මගෙද
නුඹේ දැයි නැත
තවම මට ගන්නට සිතා
එහෙත් ඇත මා
බිරිඳ නුබ ලඟ
දෝරෙ යන සෙනෙහස දරා
සිඹියි කම්මුල
මගේ වගෙම
තුරුල් කරගෙන
රෑ පුරා
යහන මැද ම්බිත්තියක් සේ නුඹ
ඈ මගෙන් තව වෙන් කලා
විලේ දඟ කල
හන්ස ජොඩුව
ලඟින් ඉන්නට
නැත වෙලා
වෙලා බඩ ගිනි හැම වෙලේ
නුඹ ඇය ලඟින් නිදියන නිසා....
ඒ ත් කම් නැත
ඉවස ගන්නට බැරිම දුක නම්
ලන් වෙලා
බලන හැම දෙන කියන්නේ පුතු
තත්තා වගෙ කියා........

Read On Comments

නියම අනියම

2:36 AM

වසා ඇති පෑල
දොර ලඟ
උගේ සෙරෙප්පු දෙක තබා ඇත
Read On Comments

බස් සහ කොස්

2:23 AM

ගැස්සෙන හදින්
හැප්පෙන මා වතට බර..
රාගික වදන් මුමුනයි
ඌ කනට කර..
හැරිලාවත් නොබලන
මිනිහා ගෙදර..
රටේ උන්ට ඒත්
තාම මම පාර...

වැස්සට තෙමුන බල්ලෙක් සේ
නගුට බර
ගොදුරක් සොයයි උන්
කවදත් ඉව නොකර
කෙල්ලෙකු උදේ හවසට
ඔසවනා බර..?
කීමට මාත් හැරුනා
පොඩි කුඩේ ඇර..

සිරී ඔයා......?
Read On Comments

මල්ලිගේ සපත්තු දෙක

2:21 AM

මල්ලිගේ සපත්තු දෙකට
තාත්තාගේ අතේ
කරගැට සෑදී තිබුනි….!
Read On Comments

පංසලට වැහැලා...

2:17 AM

නෙලුමට ලෝල බඹරිඳු රොන් කෙමි අස්සේ
ඔරුවට් නෙලූ විටවත් නැත පසු බැස්සේ
වෙහෙරට තැබූ එක මල් න‍ටුවක් තිස්සේ
සිව් රට හොරා සිරුරට කහටක් ඉස්සේ

තුන් වරු කීව පිරිතකි එය ඝන හි‍ටුවා
තුන් පත් රෑන වැව් තාවුල්ලෙත් නැ‍ටුවා
තුන් යම හීන මල් පෙති ගෝමර දු‍ටුවා
තුන් සිත සසල කර ලොකු අකුනක් කෙ‍ටුවා

පුන්සඳ අහස මැද වට තරු මල් පිරිලා
පුන් මල් සුගන්දය ලඟ ගුම් නද වැදිලා
උන් ගත තෙමෙයි ආවාසයෙ උලු බිඳිලා
 දන්නෙම නැතුව වැලි මලුවට වැහි වැහැලා...


Read On Comments

සඳ මිතුරි

2:17 AM
මී පැනි පෙවූ රස බඳුනකි කෝල තොල
මං ලඟ කිමද මේ හැටි දඟ තිසර පෙල
සඳ එලි පහස මැද දඟලන නෙලුම් මල
දිය ‍රැලි ඉපිද මැරුවා නොදැනෙන්න විල...

දෑඟිලි පහස වින්ඳා කෙහෙ ‍රැලි බිඳින
දෙකොපුල් මිහිර වින්දා තොල් පෙති සිඹින
පුර හඳ නැගී එය බැස යන තුරු පිපුන
මල් කෙමි අසල බඹරෙකි රහසක් කියන

යහනත වළා ඈ අතිරූ සේද පට
අහකට කළා පුන් සඳ තව පෙනෙනට
උනුහුම දරා දා බිඳු බිම වටෙන විට
සීතල දැනුනි එය දැව‍ටුන තරුවකට..
Read On Comments
Read On Comments

පලාතෙම මැරය.....

2:10 AM

හන්දියෙ සුදු මල්ලි
කිව්වට
ඌ හෙන දඩාර
හයේ හතරෙ
පස් හය දෙනෙක්
පාරවල් තුනකින්
බිම දාන
පට්ට ඩයල් එක
ඌ හෙන නසරානිය
එහෙමයි ගමේ චරිත සහතිකේ
අම්ම දවසක් කිව්ව
ඌ නාහෙට අහන්නෙ නැති
එකෙක්ලු..
ඒ උනාට මට
සුදා පට්ට බයයි
මගේ කොලර් එකෙන් අල්ලපු
අර්ජුනට ලේ හැලෙනකන්
ඌ ගැහුවෙ
මම කියන්නෙත් නැතුව
පන්ති ඇරිල රෑ උනාම
බොඩි ගාර්ඩ් වගේ
දෙකට නැවීගෙන
ගේ ලඟටම එනව..
දැන් ඉතිං
මම හත වසරෙ
අයියලාටවත්
බය නෑ
මම කොතනද
සුදා එතන...
මම දැන් පාරෙ යන්නෙ
සන්ජේ සිංහානියා වගේ
ඉස්කෝලෙ
බිග් ශෝ වගේ
මෙච්චර ඉක්මනට
මම මැරයෙක් උනා
අද වෑන් එකෙන්
බැහැල යන ගමන්
සුදාට කතා කරල
කන පැලෙන්න
එකක් ගහන්න ඕන..
එතකොට තමයි
මම පලාතෙම
ප්‍රසිද්ද මැරය වෙන්නෙ..

කෝ සුදා අයියා...?

අන්න අර මාර ගහ පිටිපස්සෙ..
ග්‍රව්න්ඩ් එක ගාව..

අද දෙන්නම් ඕකට..

ම්ම්ම්...

අර අපේ අක්ක නේද..?
සුදා අයියා අක්ක ගාව
දන ගහගෙන..

හිහ්..
බලාගෙන ගියාම
අපේ අක්කනෙ
පාලාතෙම මැරයා...
Read On Comments

කිං සච්ච (ගවේ) සී

2:09 AM

සතර පෙර නිමිති දු‍ටුවෙමි

කලු කඩේ නය පොත
මාසයක පඩි පත
බඩිගින්නෙ නිදන දුව
පොහොර නැති මහ කුඹුර

රම්ය
සුරම්ය
සුබ
ඔක්කොටම ඇති දිරපු ලනු ඇඳ
මත් හූල්ලන
යසෝදර වත..

නොමැති මුත් කන්ථකගෙ වලිගය
රත්තියා ඇත දුඹුරු පාටට

යමං යමං
නේරංජනාවක් වගෙ
පහල ඇලෙන් උඩින් පැනල
උඹ මැරුනම පපුව පැලිල

බුදුවෙන්නට නොහැකි උනත්
මස් කඩයට මස් විකුනල
දුකින් මිදෙන්නු හැක සතියක්..
Read On Comments

දවසෙම වැඩ

2:08 AM

කුමාරි අද
මට ටිකක් වැඩ
එන්න පරක්කු වෙයි..
බොස් අද මම ලෙඩ වෙලා
ලීව් එකක් ඕන
අනූ මම ටිකක් බිසි එන්න
හවස් වෙයි..
නංගි මම දැන් ඇවිත් ඉන්නෙ
අනූ අද මම හාෆ් ඩේ දැම්මා
2ට එන්නම්..
වාසනා..
අද 6 ට්‍රේන් එකට එනවනෙ..
ඔව් වැඩ ඇරෙද්දි
5 පහු වෙයි..
අද නම් ඔ‍ෆිස් එකේ හරියට
වැඩ තිබුන
හරිම මහන්සියි කුමාරි..
Read On Comments

කපිල වස්තු පුරය

2:07 AM

හීන් මැනිකා
සැදැහැවත්
හාතර පෝයටම සිල් ගන්න
ගමේ
උපාසක අම්මා..
කිලෝ මීටර් අටක් දිග පෝලිමේ
අන්තිම කොනේ දෙවැනියට.
අයිස්ක්‍රීම් එපා
පපුවෙ සෙම
මාරි බිස්කට්..?
බොහොම ස්තුතියි
පිං සිද්ද වෙච්චාවෙච්
කොහොම කන්නද නෝනෙ
දත් හයියිඅ නැති කොට?
විටක් කන්න ඕන
ඒත් මේ කොලඹ පාරවල් වල
කෙල ගහන්ට පුලුවනෑ...?
කොහොම හරි
ධාතු වහන්සේල වැඳගෙන
මිසක් මම නෙමේ යන්නෙ..
පී ඊ ඊ ඊ ක්...
කියුං කියුං...
මේ ආච්චි
කොනකට වෙන්න කෝ..
ඇමති තුමා වෙන්න ඇති
මතකයි දවසක් පිං
පඩිය හදා ගන්න
අමාත්තියාංසෙට ගිහින්
ඒ ක හදා ගන්න බැරුව
එද්දි ඔය වාගෙම
ලොකු වාහනයක්
මිදුලෙ තිබුන...
උන්නාන්සෙල බොහෝම
පිං බල තියන උදවිය
වෙන්නැති..
සමහර විට
බුදු හාමුදුරුවන්ගෙ
ලඟම නෑයො
වෙන්නටැ
නැත්තන් මේ ආත්මෙ
කොහේ ලැබෙන්නද
මේ බලගතු කං..?
පස්සට පස්සට
ආච්චි පාර මැද ඉන්නෙ
අයිනට යන්න..
පොලිස් අන්කල්
ආ මේ ඕ අයි සී මහත්තයගෙ
දුවනෙ
අන්කල් අම්මිත් ඉන්නව..
දුව යන්න ඔහොමම ඉස්සරහට
යන්න මඩම්..
අනේ හරියට රාජ කුමාරිකාවො
වගේ..
උන්දැලාට ඉතින් අපිට වගේ
පෝලිම් මොකටද...
මෙච්චර ඉක්මන්ට
ධාතුන් වහන්සේලා
දැක වැඳ ගන්න
පෙර ආත්මෙක
අඩු ගානෙ සුජාතා සි‍ටු දුව
කිරි පිඬු සූදානම් කරද්දි
කිරි ටිකවත් මිරිකල
දෙන්න ඇති..
අනේ සාදු...
ආච්චි ඔය වැටට බර දෙන්න එපා
පොලිමෙ ඉන්න හරියට..
සූ ...ශා..
ඔව් ඔව්..අර..
මෙගා නාට්ටියෙ
සුදාරි..
අනේ අපි හරී ආසයි
ඔයා රඟ පාන නාට්ටි බලන්න
අදනම් ලෙන්සුව විටරයි අතේ තියෙන්නෙ
අනේ මේකෙ අත්සනක් දාල යන්නකො..
තෑන්ක්ස් අ ලොට් අක්කි
යන්න යන්න ඉස්සරහටම යන්න
බායි..
අනේ අපි විතරයි පව් කාරයෝ
ඉටි රූපෙ වගේ
පෝලිනුත් නෑ..
කව්ද දන්නෙ
බුදු හාමුදුරුවන්ගෙ කාලෙ
රාජ බිසවක්ද කියල..

අම්මෝ තුනටිය..
කකුල් දෙකත් වාරු නෑ..
දෑන්නම් අමාරුයි..
ඔව් තවත්නම් ඉන්න
බැරි ගානයි..
මතකයි
ලොකු හාමුදුරුවො
දවසක් කිව්ව..
බුදු හාමුදුරුවො
දෙශනා කළාලු

"යෝ ධම්මං පස්සති
සෝ මං පස්සති"

ඔව් මම එහෙනම්
හැමදාම
උන් වහන්සේ දකිනවනෙ..
මොකටද පෝලිමේ ඉන්නෙ..?
මම යනව ගෙදර...
Read On Comments
Read On Comments

සරලවම මම ආදරෙයි

1:53 AM

නුබට නොතේරෙන
කවිය
නැත ඵල
පුර හඳ
රතදර
රොස දෙතොල්
පිරුනු කොපුල්
ලමැද හසුන්
මහප්‍රාන
උපමා
උපමේ
එලිවැට
එලිසමය
විසකලා මම
බදුලු ඇලට


එදා සූට් කේස් එක
එක අතකින් එල්ලගෙන
මම වාසිටි එද්දි
බක්මී ගහ යට
අන්තිම වතාවට පලවෙනියටම
කිව්ව වගේ....

හීන් මැනිකෙ
මම තමත් උඹට ආදරෙයි. ...!
Read On Comments

පන්සල් යන්න බෑ අම්මෙ....

1:48 AM

සල් ගස් සුලං අවිදින් බඳ කරකැවෙන
පුල් ඇස් බලං හිටියේ පුන්සඳ උවන
තෙල් හිස් පහං ලඟ ඈ දෑ තින් හැලෙන
මල් වැස්සකින් බිඳුනා අම්මේ දැහැන..

නුවනට වඩා හුරතල් දෑඟිලි සැලෙන
අඟලට වඩා දිග අති සායද වැනෙන
මකරට පවා කෙල හැලිලා යට තොරන
කැටයට ඇරුනු කට පාටක් නැත වැහෙන

වැලි මලු දිගේ ඈ පා සටහන් ඇන්ද
‍රැලි පෙරලුවා මගෙ හිත බොරුවට වැන්ද
ගුලි වී හොරෙන් එබෙනා හංසයො වින්ද
විලි සංගයක් ඇති මට නැති හැටි නින්ද..

Read On Comments

සිඟමන් නොයදින යාචකයා හෙවත් මගේ තාත්තා

1:45 AM

ඉඩෝරයට ඉරි තැලුන එහෙත් පපුවම තෙමුණ
හේනෙ දඬු වැට කැඩුණ දිනත් දෙවියන් වඳින
හට්ටියේ බත් ඉදෙන නමුත් කුස කෑ ගහන
අදත් මම නුඹ වඳින විටදි කඳුලැලි සැලෙන....

හවස ගම කඩ පිලක දුම නැගෙයි බීඩියක
රෑට හේනේ කොනක හඬ ඇසේ පැල් කවක
නිදහසක් ලද විටෙක දිග හරී ඇති මතක
සරසවියෙ පොත් ගුලක නුඹ සිටී හැම පිටක

විටට රතු වුණු මුවට සෙනෙහෙ ගලනා හදට
නොමැත උපමා නුඹට වඩා කිරි වෙහෙරකට
දාසයෙකි පොදු වැඩට ඥාතියෙකි මරණයට
නොවේ නුඹ පියතුමට සුදුසු බොසත් කමට
Read On 2 comments

පසුම්බියට..

10:33 AM
එයාට ඊයෙ
කඩල අරං දුන්නෙ
මම ලඟ තිබුනු අන්තිම
රුපියල් විස්සෙන් කියල
උඹ දන්නව..
තාත්තට බෙහෙත්වලට
රුපියල් දෙදාහක්
ඕන කියල ලොකු
දොස්තර කියද්දි
මම ගාව සතයක්
තිබුනෙ නෑ කියලත්
උඹ දන්නව..
ඒත් පැයක් ඇතුලත්
බෙහෙත් අරං
ට්‍රී විල් එකේ ඇවිත්
සිගරට් දෙකක්
ගන්නත් සල්ලි
මම හෙව්ව බව
උඹ දන්නව..
එයා ‍ෆිල්ම් එකක්
බලන්න කතා කරද්දි
මම ගාව රුපියල්
පනහක් තිබුනෙ
නෑ කියලත් උඹ දන්නව
ඒත් ‍ෆිල්ම් බලන තඩි
පෝලිමේ
කව්න්ටර් එකට
කිට්‍ටු වෙද්දි
බොක්ස් දෙකක්
කියද්දි
උඹට පුදුම
හිතුන කියලත්
මම දන්නව..
ඒ ත් ..
මම ඒ හැම
සතේකින්ම
මම උඹව
පුම්බද්දි
උඹ වගේම
තව එකෙක්
කසල ගොඩකට
විසි කරපු බව විතරක්
උඹ
දන්නෙ නෑ

-ගැට කපන්නා-
Read On Comments

මහවැලි නදී

10:28 AM
සැලුනු රතදර නොදු‍ටු මහවැලි නදී යයි ඈතට ඇදී
සොඳුරු පෙම් සුව අහිමි මතකය බිඳේ ගල් කුලු මත වැදී
වැ‍ටුනු සඳ දිය විසුල උනුහුම තරුවකින් වත් අද නොදී
මවනු කෙලෙසද උවන විල මත පිපුනු කුසුමක් වන් රිදී

සිසිල ගෙනදෙන සුනිල ජලතල මතින් මා සිත පා නොවී
වැ‍ටුනු වැස්ස්සට තෙමුනු පහනක නිව්නු තිරයක් සේ දැවී
හමන සුලඟට හොරා ලවනත තැබූ උනුහුම හද මැවී
නුවන තෙත් කර ගලන කඳුලක් දරා ඉමි හද තුල  තැවී
Read On Comments

නිරුවත් කවිය.....

10:21 AM
කුනු කන්ඳ උඩට නැගි ලස්සනයි සඳ වතිය බලා ඉමු ඒ දිහා තුරුල්වී
කිඩාරම් මල් වලට හොරෙන් ඇදෙනා බඹරු සුව විඳියි ‍රැය පුරා නොසෙල් වී
ගලා යන කුනු ඇලක ඉව් ර ලඟ පෙම් කරන මාලුවන් සේ අපිත් තොදොල් වී
අමා සුව ජීවිතේ විඳිමු ඇස් වසාගෙන ලෑලි ගෙයි කැඩුනු ලණු අඳට වී...

සඳවතිය අහසෙ මිස වඩින කුටියක් කොහෙද තරු නොමැත අපට හුරතල් වෙනා
රෝස කම්මුල් කුමට අමාවක කරුවලට සිප ගන්න අපිට අපි නොපෙනෙනා
නිල් උපුල් දෙනෙත් යුග විල් තෙරේ මඩ වැකුන නිසාදෝ වසා ගෙන හැන්ගුනා
සිනිඳු සුසිනිඳු පහස නැතත් නුඹ සියුමැලියි කරගැටෙන් දෑත පිරි රිදවනා

රියසකක් නොව උකුල් දුප්පත්ය රන හසුන් දූවිල්ලෙ නොපෙනෙන්න හැන්ගිලා
නා දල්ල කුමන හැඩ විටක් දැක දිදුලනා නුඹේ තොල් මට තවත් ලං කළා
රෝස මල් සුවඳ නැත නුඹේ දා බිඳු තරම් සඳ වතත් කුනු කන්දෙ කිමිදිලා
සොඳුරු කිංකිනි නාද කුමට නිදි යහනතට හිඳිමු අපි තව තවත් ගොලු වෙලා
Read On Comments

මේ අවසන් කවියයි..

10:17 AM
දැවෙන හදවත බි‍ඳෙන රළ දැක යදම් ගඩි තව හිර කළා
මැරෙන ඉපදෙන සයුරු පෙන කැටි සුදුවතින් ඇත සැරසිලා
නොයෙන ගමනට පැමිනි මා ලඟ සිහිල් සුලඟක් පා වෙලා
‍රැගෙන අවසන් සුසුම ගෙන යනු ඇගේ කුටියට දවටලා....

ආලයේ රුදු වේදනා වැල් නොමැත මා හදවත පෙලා
ගීතිකාවකි දෙව්ලොවින් බට ඈ සුලං ‍රැල්ලක් වෙලා
කාලයේ සුදු තලා වැලි මත මගේ මතකය අතුරලා
කියා දෙනු මා ගියපු හේතුව ඇගේ කඳුලැලි සඟවලා..

බොලඳ බාලොලි මල් කඩා රන් ඇගේ කෙහෙ‍රැලි දවටලා
විලඳ පෙව් ගිරවියක සේ ලඟ හොවා ආලය පුද කලා
මහද සිදුරක් සදා ජීවන ගමන සිදුරෙන් රිංගලා
සබඳ මේ අවසන් විනාඩිය මල හිරුට මා ලං වෙලා..

උලම නුඹ හඬ නැතත් කලුවර අඳුර තව තව යයි ගලා
දෙගුරු සොහොයුරු සුවඳ අවසන් කඳුලු බිඳුවෙන් තෙත් කලා
බවය අවසන් කරන අන්තිම සුලං රොද එනු පාවෙලා
යලිත් සසරක මෙවැනි හමුවක කවිය මුමුනමු ලං වෙලා...
Read On Comments

කවියෙකුගේ සයනත

10:03 AM
උකුල් තලයට තෙපුල් මුමුනන දුහුල් සලුවට ඉඩ නොදී
සුපුල් කැකුලට නැව්ම් වත්සුනු සුවඳ තවරා රොන් බඳී
ලදල් නා තුරු මතින් සඳ කැන් තාලයට සොලවා වැදී
උපුල් දෙනයන වසා පොපියන පමල් පෙති බින්දද නිදී..

පහස ගෙන දෙන මහද අරණට ‍රැය පුරා උනුහුම දිදී
පවස නොදැනෙන සෙනෙහෙ කතරක ගිලුන කිඳුරෙක්වන් නදී
රහස් මුමුනන නිහඬ පිනි කැට රූරලා යයි පෙළ සැදී
අහස කලුවර සඳත් හැංඟී බැලුවදෝ උනුහුම නොදී ..?

රුවන් පුන් සඳ යුගල් පෑයුව අහස ලඟ පපුවම වැදී
ස‍ඳෙන් වෙන් කළ සුමුදු සයනත රනින් තව තව කෙඳි සැදී
ලොලින් මා තව ලන් උණා නොව රසින් රාගික බැමි බඳී
ඉතින් කුමරිය කියන් නෙතු හැර මගෙන් තව මොනවද මදී.....?
Read On Comments

කළු ගල් සුප් හා එළු සුප්...

10:01 AM
මිනිසෙකි විඩාබර ගින්නෙන් කුස දැවෙන
මොනවත් නොවේ සෙව්වේ දේ කුස පිරෙන
කහවනු තියා පිච්චියකදු නොම දකින
දෑසට දුරින් සරු ගම ගෙදරක් පෙනෙන..

ගම හාමිනේ ඇය හැඩ කාරයි නෙතට
ආවා උපායක් කඩිමුඩියේ හිතට
සුප් නම් හොඳයි කෙඳිරිලි හඬ දෙන බඩට
කලු ගල් දෙකක් ගත්තා නැවිලා අතට

කාරා ගෙදර උන්දැට උන් එලි පත්තේ
අසුවා හට්ටියක්,ඉඩකඩයක් වත්තේ
කලු ගල් වලින් සුප් හදනා බඩු ඇත්තේ
එය පමනක්ය ඔබගෙන් මට විය යුත්තේ..

උන්දැට හැදුනි කලු ගල් සුප් වල කුකුස
මගියගේ කුසේ ගින්දර සෙව්වේ අහස
ඔනෑ දෙයක් අරගෙන ඇතුලෙන් නිවස
කියලා දියන් ගල් සුප් හදනා රහස..

තබලා ලිපක හට්ටිය ගෙදරින් ඉල්ලු
මුලින් දැමුවෙ අර අහුලා ගත් ගල්ලූ
තව රස වෙන්න පොඩි පොඩි එලවළු ඉල්ලූ
මහගේ කලමනා සොයලා ගේ පෙල්ලූ

හොඳටම පදම ආවා දැන්නම් කදිම
එළු ගාතයක් තිබුනානම් තව නියම
එසැනින් ගෙනාවා මස් පලුවක් හොඳම
සුවඳට නොදැන නොදැනිම තෙමුනා තොලම..

සුවඳින් හමන හෙමිහිට නිවසම වැහුවා
එළු මස් පදම ගම මහගේ තව හෙව්වා
දැන් හරි බාමු කුස ලිප ගිනි දැල් නිව්වා
කලු ගල් දෙකම හැන්දෙන් විසිකර දැමුවා..!
Read On Comments

දු‍ටුවේ කව්ද අපි....?

9:59 AM
ඝන මීදුමේ හිම මිදෙනා සැප පු‍ටුවේ
උන් රජ කරන්නට දා බිඳු හිරු දු‍ටුවේ
ඒ දෙස නොවේ එන යන මිනිසුන් බැලුවේ
කස්සප රජුන් තනිවම සීගිරි හැදුවේ

වත බබලානා නෙක විසිතුරු ආබරණ
ගත සැප සදන්නට සැරසුන ලිය වරුන
සුඹුලෙන්  ලිහා අපි මෙන් විසි කර දමන
වී පොතු පාව යයි බොල් සුලඟට වැදුන

බල කො‍ටු පවුරු සිතුවම් කර රජුන් තනා
දුහුවිලි අතක කරගැට උන් පා හැපුනා
අඳුරට රජව පුන් සඳ අහසට නැගුනා
දු‍ටුවේ කව්ද අපි සීගිරියට නගිනා
Read On Comments

කවි සිත..

8:30 PM


සවිය... නැත නුඹ අතාරින්නට... අන්නන්තය වෙත පාවයන්නට
දිවිය.. ඔරුවකි නැංගුරම් බට...අකීකරු සිත් සිරකරන්නට
සිටිය...යුතු නැත හොවා දෙදනට.. නයන සොයනා ඒ ඉසව්වට
කවිය.. නැවියෙකි ‍රැගෙන යන්නට...වඩා වේගෙන් හමන සුලඟට
Read On Comments

නුඹට නොකී කවිය..

8:30 PM


මුහුලස සලා ඉඟ සුඟ පද්දා දුවන
මදහස සිනා නෙතු නිලුපුල් බඳු උවන
සෙනෙහස නුඹට පුද දෙන්නට සිත මවන
අදහස මගේ පවසන තුරු නැත නිවන
Read On Comments

නුඹ සහ අහස..

8:29 PM

අහසට සුලඟ හුරතලයට දැඟලිල්ල
මුහුදට ‍රැල්ල කිති කවලා පෙරලිල්ල
මලකට බඹරු ලං වීලා නැලවිල්ල
නුඹ හට ආදරේ දීලත් ගෙරවිල්ල
Read On Comments

හංස විල..

8:29 PM



 රහසේ තුරුල් වී සිටිදා මැද බේරේ
                        වෙහෙසී ඇය බලයි විල මැද හංස පොරේ
පහසේ සුලං දැවටී ඇගේ ගව්ම් කරේ
                         ඇයසේ මගෙ ඇසත් ගියෙ හංසයො පාරේ
Read On Comments

පුනර්භවයක අතරමං වී...

8:25 PM

මත් වන සොඳුරු රූ අසිරිය දු‍ටු දු‍ටු මන්
ගත් ඇස් හිරුට උව අමතක යන එන මන්
හිත් පපු කොනේ තාමත් කකියන පැතුමන්
පත්තිනි දෙයියො වත් දු‍ටුවාදෝ ගජමන්..?

පෙම්බර වදන් පුස්කොල කවි කළ දෑත
සුන්දර මතක සිත පාරයි දුර ඈත
වෙන්කර මගෙන් ඈ නෙත නැත ලඟ පාත
කින්නර කුමාරිය කෝ මම ඇලපාත...?

නුග රුක නොමැත ගොස් බැලුවා දෙනි පිටියේ
අටවක සඳට මක් වී දෝ හිටි හැටියේ
කඳුලක සෙනෙහෙ මා නෙතු අග තබා ගියේ
කවියක මිහිර ගෙන එන්නද එන භවයේ........?

Read On Comments

මොහොතකට පෙර......

8:25 PM
විල් තෙරින් නිල් උපුල් කැකුළක සුගන්දය මල් රොනක් සේ
පිල් විදා හල සලා මුහුලස රඟයි ඈ මොනරියක් සේ
මල් වරා සිටි පුන් මදාරා ලං වෙලා තව සිසිලසේ
දැල් වෙනා පහනක සිලක් සේ නිතඹ රන් සලුවෙන් වැසේ

රන් හසුන් උන් බය වෙලාදෝ මන් බලා සිටියම හොරා
හැන්ගිලා උන්තැනින් තව තව මතු කලා දෝ රස නුරා
නින් නදක් සේ හඬ සිහිල් දොල දියක් සේ සුවපත් කරා
මන් වෙලා මත් කලා අසුරක් දුන්නු රස කලතා පෙරා

සත් සියක් තරු පීදෙනා යුරු නිල් නුවන් කැන් පායලා
පත් සලා සිය අහුරු මුතු කැට රූරමින් පිට තෙත් කලා
ගත් නිසා සිත අමාවක සඳ අපට ඉඩදී හැන්ගිලා
පත් මයකි සයනයම පිබිදුන එහෙත් ඇත මා තව බලා.......
Read On Comments

නොදු‍ටු ලොකය..

8:24 PM

හදා ගෙන එන පැලට ඉහලින් නැගෙයි මල හිරු පායලා
බෙදා ගන්නට කොහෙද ආලය බතුත් කනවිට හූරලා
වදා කිරි සප්පයන් කුමටද උනුත් මෙ දුක්  ගොඩ හලා
නිදා ගමු අපි  දෙපස හැරිලා ලණු ඇඳට පැදුරක් එලා

කියූ මුත් රජ බොජුන් දෙන්නට රජ යහන් සලු පිලි පුදන්නට
තියූ උගසට ඉඩම් සේරම ගියා ඉනි සේ කපපු ගඟකට
සෙයූ ලෝකය බැරි උනත් මට නුඹේ පාමුල ගොඩ නගන්නට
ලියූ දුප්පත් කවිය නුඹ විය දුකින් සේදෙන ගල් කුලක් යට

මටද දුක නුඹටම වගේ මයි අපේ කුස බොල් හඬ අසා
සඳද තනියම හිනැහුනා දෙන් වැස්ස හිල් වහලට ගසා
හෙටද අද මෙන් නොහැකින්ම් ගනු අපේ දුප්පත් හිල් වසා
නො‍රැඳ මේ දුක් කරුම ලොකෙන් එතෙර වී ගමු වත කසා

Read On Comments

පීඩිත පංතියේ මරණයක් ......

8:23 PM


කඩා හැලෙනා උණු කඳුළු කැට එපා රූරා ගෙන හලන්නට
මලානික මල් පිපෙන පරවෙන අරුම හඬ ගලා කියන්නට
සදා කාලික නොවන ලෝකෙක ගිමන් මදකට නිවා ගන්නට
මමත් ආවා නුඹත් එක්කල ඇවිත් ආපසු හැරී යන්නට

විටෙක සිනහව විටෙක කඳුලැලි වෙනව කාටත් රස විඳින්නට
දිවිය කවියක් වගේ ලස්සන එහෙත් වෙයි එලි වැට බිඳින්නට
මුහුද හෝ හඬ නොමැති දිනයක අවර ගිර හිරු එයි නැගෙන්නට
සබඳ ලොව අනියතයි ඔරුවක වගේ හිල් වී යන ගිලෙන්නට

සුදෝ සුදු මල් එපා අරගෙන සුදු වතින් සැරසිලා එන්නට
මගේ හද කුටියම නිවී ඇත ඉහඟ දැල්වෙන පහන් සිසිලට
රටා මැවෙනා අවන් පත් සල සලා බන පද වල ගොතන්නට
එපා හිමියනි මෙහි වඩින්නට නොමැත පිරුවටයක් එලන්නට

සහෝදරයෙක් සහෝදරියක් නොමැති සෑයට ගිනි තියන්නට
බීපු සිගරට් කොටේ දාපන් මගේ ළඟ අළු ටික වැටෙන්නට
එකෙක් දුක් විඳිනා රටක් තුල එකෙකු සැප විඳිනවා මෙරකට
කාලකන්නින් වගේ ඒ දෙස නොබල මම යනවා මැරෙන්නට

Read On Comments

මෙහෙකාරියක් මුත් ඈ.............

8:22 PM


නිලුපුල් නයන නැත දැලි දූවිලි ‍රැඳුනූ
දෙකොපුල් රෝස පෑ නැත කතරකි සිඳුනූ
කෙහෙ‍රැල් අකීකරු සුලඟට කිති කැව්නූ
නිකලැල් පෙමකි පිදුවේ එනමුත් පිරුනූ...

සයුරකි විටෙක ඈ වෙරලක විත් හැපුනු
රුවලිකි වරෙක මා සිත් නව්කා බැඳුනු
මැදුරකි ආදරේ සැඩ සුලඟක හැපුනු
තොටියෙකි මගේ සිත ඈ  වෙතටම ඇදුනු

යල මහ දෙකම එකසේ නිල් පෑ වැව්නු
නිල් කෙත වගෙයි ඈ සිත  මහ වැහි වැ‍ටුනු
වලවේ කැලනි කලු ඇදුනත් දෙස දකුණු
මහවැලි නදිය මම වෙමි ඈ වෙත ඇදුනූ.......

Read On Comments

නොදකින් මේකි ...

8:20 PM

හස‍රැළි කොමළ පොඩි මැනිකෙගෙ ගඟ අයිනේ
පොල්ලෙලි තලන  මගෙ ඇස් ඈ ලඟ ‍රැඳුනේ
කෙහෙ ‍රැලි සුලං එක්කම ආලෙන් වෙලුනේ
මහවැලි නදිය විතරද උනුහුම දන්නේ..............?

කරගැට අතට නොදැනුනු සියුමලි ලෝල
මලකට ආල බස් කෙඳිරූ මනමාල
හවසට හොරෙන් හමු උන දොර ලඟ පෑල
මතකෙට එන්නෙ නතුවද ඔය බොරු සීල..?

තිසරුන් පිහිනලයි විල් දිය කැලඹෙන්නේ
මලකින් රේනු තලලයි ගුම් නද දුන්නේ
උකුලින් තාල ලැබිලයි කල සෙලවෙන්නේ
නොදකින් මේකි දන්නේ නෑ වගෙ යන්නේ....!

Read On Comments

සිත තවම තරුණයි.............

8:18 PM


ලස්සනයි උඹ හීන් මෑනිකේ නැති උනත් පුර හඳ වගේ
නාඹරයි එය මෙල්ල නෑ තව සොයයි උනුහුම සිත මගේ
කලුවරයි දහවලෙත් තනිකම ගෙනෙනවා මතකය දිගේ
සාගරෙයි වෙරළයි වගේ මම ආදරෙයි ‍රැල්ලට නගේ....

ලන්දෙ ඕවිට පුරා කෙත් වතු පැන්න දුව පැන කාලයේ
බැන්දෙ ආලය අරං යන්නද දුරක් තාලය ගීතයේ
කන්දෙ දෙවියන් ලඟත් හැලුවා දරා උන් දුක මා ලයේ
වින්දෙ විරහවෙ රහම විතරද සැබෑ මිනිසුන් ආලයේ.....

දහස් සුවහස් පහස් ලැබුවත් පලක් නෑ මට මතු බවේ
අහස් කුස හිස් පන්ස් වසරක් පුරා, පුර හඳ නැති ලොවේ
පලස් මිස දුක් සිහස්නක් වෙද ආදරෙන් හදවත් දැවේ
"සහස් පෙති ඇස් සතොස් කෙරුවේ බඹර මිස විල් දිය නොවේ"
Read On Comments

සියුමැලි ගල් කනු..........

8:17 PM


උන් ඇවිත් ගේ ලඟට අම්මේ අත වනයි වැට ලඟ අපේ
රන් රුවන් මුතු මැනික් කුමටද නොමැති දා ගින්දර ලිපේ
පන්හි‍ඳෙන් බෑ කොස් කොටන්නට කඩුව දීපන් එය කැපේ
මන් වදන්නට වින්ද නුඹ දුක මකන්නට රතු මල් පිපේ....

හිඟන්නට හිඟමන් සොයන්නට කොහෙද සතයක් ඇති එකෙක්
යදින්නට එක දෙවියකුත් නැත නමට තිස් තුන් කෝටියක්
සොයන්නට සම මිනිස් පව් රක් පක්ශනම් ඇත කප්පරක්
අරින්නට කට එකෙක්වත් නැත මැරෙන්නට බය උන් ගොඩක්...

පුර හඳක් වී කුමට දිලිලා වෙනස් වී මැද තරු ගොඩක්
කූඩුවක්ක් මැද කුරුල්ලන් හට කුමට දී අත් ත‍ටු දෙකක්
චේ එකක් මට කියා පලයන් සිහිනයෙන් හෝ විත් වරක්
තෙතක් නැති ලෙස මවගෙ ඇස්වල මැරෙන හැටි එඩිතර පුතෙක්.........
Read On Comments

ඉසුරුමුනියේ සිට............

8:14 PM

ඉසුරුමුනියේ සිට............

ඉසුරු මුනියට සඳක් පායා මලානික හිරු කිරන අතරේ
ඉතුරු කර ගෙන ඉන්න මතකය අරං අවා සිහින මෑදුරේ
අඳුරු මුල්ලක විලක් අයිනේ පිපුන නෙලුමක් ළඟින්වතුරේ
කදුරු ලීයක් වගේ කැටයම් කලා කලු ගල් කුලක් අඳුරේ..


සඳත් ලැජ්ජා හිතෙන මුහුනට වඩා වැඩියෙන් පිරුනු සෙනෙහස
දලුත් නා රුක් පරයනා හැඩ වලට වැඩියෙන් සොඳුරු මදහස
හිරුත් නොදකින නුඹේ උනුහුම පැතිරෙනා ලෙස වසා නිල් කුස
අදත් විඳිනට හැකි උනා මට නැති උනත් උර තලේ නුඹ හිස

ඉරක් නැති මුත් එලිය දෙන්නට අඳුරු තනිකම් මගේ ලෝකෙට
විලක් නොව්නට කුමක් වේවිද මලක් නොදකින පියුම් සුවඳට
හෙටක් ගැන මා දකින හීනය තුරුල්  වී ලෝකෙට කියන්නට
දහක් වසරක් එකට හිටපන් පාලු නෑ රෑ ඉසුරුමුනියට

Read On Comments

Blog Archive

Followers

Powered by Blogger.