සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

වල් බල්ලාගේ පාපොච්චාරනය....

6:47 PM


නැතුවට මැදුරු හිස් අහසේ හිස ‍රැඳුනු
එක අගු පිලක් ඇති දූවිල්ලෙන් පිරුනු
දේදුනු මුතු මැණික් කලුසුදු වට පෙනුනු
සරලය ජීවිතය හෙලුවැල්ලෙන් ගෙව්නු...

රජ ගේ රිදී දම් වැල් බැඳ ගත් කරට
උන් බිරුවාට අපි දු‍ටුවම බලු කමට
උඹලගෙ උනුත් චන්දෙන් ගොස් ඒ තැනට
වැ‍ටුනම හිතුනි වෙනසක් නෑ නොවැ අපට...

මව් පිය වරුන් පාරට විසිකළ පුත්තු
පීඩිත දනන් අමතක නායක ඇත්තු
මැද සිත අපේ නොමැරෙයි බත් පත ගත්තු
වලිගය වනා හෝ ගුන සලකයි සත්තු...

පාරේ දෙනෝ දහ මැද අත පය කපපු
නීතිය අතට ගෙන චූදිතයන් මරපු
උන් දු‍ටුවාද බල්ලෙකු, බල්ලෙකු හපපු
පිලිගෙන වරද වලිගය දෙකකුල ගහපු..?

නීතිය රකින බිරිඳකි හිර කල ගෙදර
ලාබෙට සොයයි පිට කො‍ටුවේ අලි පේර
සංස්කෘතිය නම් කඩ තිර පට නෑර
උන් හෝටලේ බල්ලන් සේ මහ පාර...

මිනිසුන් නවන කල නොමිනිසුනට ඔලුව
හවසට අපේ ලඟ නිදියන විට සලුව
වෙනසක් නොමැත වහගෙන හිටියට හෙලුව
දාහෙන් සැපකි ඉපදෙන එක වී බලුව...
Read On Comments
Read On Comments

මද කිපී ඇත...

6:44 PM


දුන්හිඳ සලුව ලිහුවා සේ ගලක් උඩ
කන් පෙති අගින් වෑහෙන මද කඩින් කඩ
රූරා වැටෙන්නටවත් උන් නොදී ඉඩ
බිඟු ගී ගයයි බලමින් ආදරේ හැඩ..

රන්වන් පටින් දිදුලන අග ඉඟ නෙරිය
වැසු ඈ සරන විට නෙතු විසුරන සිරිය
තාලෙට උකුල සැලි සුලඟට දී විරිය
සෙලවූ වැනිය රන් තවරා සීගිරිය

කකියන දෙපා බැඳි යදමින් තුරු මුලට
හිරකර තබා ඇත එන හැඟුමන් හිතට
ආඩම්බරෙන් දිදුලන ගත් උර මතට
කරඬුව වඩී ඈ ගෙන දුර ඈතකට..

මහවැලි කැලණි හැලෙනා සේ කිරෙන් කල
දිගු වී කාන්තිය විහිදයි ඇගේ දළ
හොඬ එතු දිනේ ඉ රුවා සේ නුඹේ තොල..
මට රස නොමැත වෙනදා දුන් කිතුල් කොල

දහසක් නෙලුම් පිපුනත් විල් තලා මත
නොපෙනේ අහස සඟවයි නම් සඳේ වත
මුදලෙන් මිලෙන් පොහොසත් සවි ඇතත් ගත
ආලය නොමැති තැන ජීවිතයකුත් නැත...

Read On Comments
Read On Comments

තවත් එක මලක්....

6:40 PM

හරිම කම්මැලි කමට අඹ ගහේ එල්ලිලා ඉන්න ඝාන්ඨාරෙ ලනුව දෙතුන් පාරක් එහෙ මෙහෙ කරුපු ගමන් ගැස්සිලා ගියපු පාරට ටාං ටාං කියල මට දෙස් තියන්න පටං ගත්තද මංද..පෙහෙවස් සමාදං වෙන්න අවිදගෙන එන සුදුපාට පිච්චමල් යාය අස්සෙ මම හැමදාම හොයන සුදු නෙලුම් මලත් ආච්චිගෙ අතට වත්තම් වෙලා කන්දෙ විහාරෙ අන්තිම පඩිය නැග්ග... ලොකු හාමුදුරුවො මාව මහන කරන්න යන්නෙ මේ සසර අනිත්්‍ය නිසාලු, දුකක් නිසාලු.. මේ කය කුනු ගොඩක් නිසාලු. බුදු හාමුදුරුවො යසෝදරා , නාට්්‍යාං ගනාවන් දැක්කට සමන්ලතාව කවදාවත් දැක්කෙ නෑනෙ.

සංඛ මෙහෙට එන්න.. මේ මල් වලට පැන් ටිකක් ඉහල හඳුන්කූරු ටික පත්තු කරන්න.. උපාසක උපාසිකාවන් සූදානම් වෙන්න අටසිල් සමාදන් වෙන්න..
ලොකු හාමුදුරුවො එහෙම කියල ආසනාරූඪ උණා..

බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ මල් වගේම අපේ කයත් පරවෙලායනව කියල.. මම පැන් ටික ටික අරගෙන මල් වලට ඉස්ස.. සමන්ලතා ආච්චි ගාවම වාඩි වෙලා ඇස් දෙක පියා ගෙන වැඳගෙන. පැන් ඉහිද්දි ඇස් ඇරල හිනාවෙන මේ මල් පෙති පර වෙනව කියල කොහොම හිතන්නද..? ඊයෙ තියල පරවෙච්ච මල් ටික මම පැත්තකට කරා..
..
" ගනසාරප්ප දිඨ්ටේන.." ලොකු හාමුදුරුවො ගාථා කියද්දි මම හොඳට ඇහුම් කම් දෙන්න ඕන. කවද හරි මමත් කන්දෙ විහාරෙ ඉඳන් ගමටම බන කියනව
හුලඟට කැඩුනු හඳුන්කූරෙ අලු ටික වේගෙන් අවිත් මගේ කකුල් ලඟ හුරතල් වෙන්න පටන් ගත්ත..
නෑ.. කවද හරි සමන්ලතයි මායි සුදු ඇඳගෙන කන්දෙ විහාරෙට එනව බුදුන් වඳින්න..

වැලි මලුව පුරා සිල් ඇත්තන්ගෙ අඩි සලකුනු.. මේකද සමන්ලතාගෙ..? නෑ ඔච්චර ලොකු නෑ මේන්න මේක තමයි සමන්ලතාගෙ.. අපෝ නෑ එයාගෙ අඩි ගාවින් ආච්චිගෙ අඩිත් තියෙන්න එපයි..

සංඛ...

අයි ලොකු හාමුදුරුවනේ..??

වැලි පොලවෙ බින්කුන්ඩො අහුලන්නෙ නැතුව ගිහින් සිල් ඇත්තන්ගෙ අඩුපාඩු බලන්න.. තව පැදුරු දෙක තුනක් ගෙනිහින් දුන්නොත් හොඳයි වගේ..

සමන්ලතා දහම්පාසල් ආපු දවසක මුලින්ම දකිද්දි මට මොකද්දෝ සාන්සාරික පුරුද්දක් දැනුන.. ජාතක කතාවල වගේ අපිත් හාවො මුවෝ වෙලා අදරේ කරන්න ඇති.. ගිය ආත්මෙ අපි දිය කිඳුරු ජෝඩුවක් වෙන්න ඇති ඒකයි එයාගෙ ඇස් මෙච්චරටම නිල් පාට.. නෑ හංස ජෝඩුවක්.. එයා හිම වගේ සුදුපාටයි..

අම්මද කොන්ඩෙ ගොතන්නෙ උදේට...?

අමාවක දවසෙ වැහි බීරමක් ආව වගේ දුකින් එයා ඔලුව දෙපැත්තට වැනුව..
ම්හ.. එයාල මාව දාල ගියේ පුංචිම කාලෙ..
ආච්චි අම්ම තමයි හැමදාම කොන්ඩෙ ගොතන්නෙ..

පටන් ගත්ත තැනම කේදවාචකයක්.. ඇබිත්තය උනත් මම දැං පෙම්වතෙක්.. ආදරේ කරනව කියන්නෙ එයාව සතුටින් තියන එක.. දුක අමතක කරන්න මොකක් හරි කියන්න ඕන..එහෙම තමයි හිංදි පික්චර් වලත්

ලස්සන මාලෙ.. ආච්චිද හදල දුන්නෙ..?

නෑ මේ අම්මට පරම්පරාවෙන් එන එකක්. එයා මැරෙද්දි මේක මගේ කරේ දාල..
එහෙම කියපු සමන්ලතා කඳුලු පිහිද පිහිද පංතියට දිව්ව..

පිංවතුනි අටලෝදහමට අනුව මේ මොහොතෙ සතුට ඊලඟ මොහොතෙ දුකක් වෙන්න පුලුවං.. මේක කරත්ත රෝදයක් වගේ අපි ජීවත් වෙද්දි අපි වටා කැරකෙනව.
ලොකු හාමුදුරුවො දර්ම දේශනාවත් පටන් අරං

මට සමන්ලතාව හරියට පේන්නෙ නෑ.. අපෝ අර පීප්පයක් වගේ ආච්චිට වැහිල..‍රැලි වැ‍ටුන වෙව්ලන ආච්චිගෙ අත් අස්සෙන් යාන්තමට ඇත්දල දෙකක් වගේ සමන්ලතාගෙ අත් දෙක පේනව.. ඉදිල සුදුපාට උනු ඉර‍ටු ගැලවිච්ච ඉදල් කොටේ වගේ ආච්චිගෙ කොන්ඩෙ අස්සෙන් දිය ඇල්ලක් වැටෙනව වගේ යාන්තමට සමන්ලතාගෙ කොන්ඩෙ පේනව.. විය ගහ ඇල දිගේ මුහුදටත් ආපු පුර පෝය දවසක ආසවෙන් කන කැස්බෑවෙක් හඳ දිහා බලන් ඉද්දි කලු වළාවක් අවිත් හඳ වහගත්ත වගේ මට දැනුනෙ.

සමන්ලතා ආච්චිට මොනවාදෝ පොතක් දිග ඇරගෙන කොඳුරනව. ආච්චි හරිම ආසාවෙන් අහන් ඉන්නව.. දවසක වැව් කන්ඩිය උඩට වෙලා මාත් සමන්ලතා ගාව ඔය විදියටම වාඩි වෙලා මොනව හරි අහන් ඉන්නව.. සමන්ලතාගෙ තොල් අගට දාඩියත් වැටිල.. මට ඒ පොත එක්ක ආවෙ පුදුම තරහක්. පොතත් මම වගේ එයා දිහා බලන් ඉන්න ආසාවෙ පේලි දිග වැඩි කරනවදෝ කියල මට හිතුන..

හවස සිල් පවාරනය වුනු පිරිස ශාන්ත රසය ගමටම බෙදන්න වගේ පේලියකට පඩි පෙල බැහැල යන හැටි මම බලං හිටියෙ පුදුම දුකකින්. හෙටත් පෝය එනවනම් කියල මට හිතුන.. ඒත් ලොකු හාමුදුරුවන්ට වැඳපු සමන්ලතා හැට්ටෙ අතින් වහගෙන මා එක්ක හිනා වුනේ මොන හැඟීමකින්ද කියල තේරුම් ගන්න මට තාමත් බෑ..

සංඛ.. ළමයො දැං කොහොමද පොත පත කියවල ආගම දහම ඇසුරු කරාට පස්සෙ වෙනසක් තියනවද..? සිව් රක බර දරා ගන්න පුලුවන් කියල හිතනවද..?

අපේ හාමුදුරුවනේ මේ සසර ඔය කියන තරම් දුකක් නෙවෙයි.. ඉස්සර බුදු හාමුදුරුවො වැඩ හිටිය කාලෙ මේ වගේ වාහන, කොම්පියුටර්,ඉස්පිරිතාල තිබුනෙ නෑනෙ.. ඒ ත් දැං සසර දුකක් නෙවෙයි..

සංක... හැතැම්ම ගානක් මඩ පාරක ඇවිදන් ගියොත් මොකද වෙන්නේ..?

කකුල් දෙක ගොඩාක් රිදෙනව තුවාල වෙනව මහන්සි හැදෙනව.. මඩ ගෑවෙනව..

එතකොට අපි සෙරෙප්පු දෙකක් දාගෙන ගියොත්..?

මහන්සිය එහෙමමයි.සෙරෙප්පු දෙක ගෙවෙනකන් මඩ ගෑවෙන්නෙ තුවාල වෙන්නෙ නෑ ඒ ත් සෙරෙප්පු දෙක ගෙව්නට පස්සෙ යටි පතුල් තුවාල වේවි මඩ ගෑවේවි..

සංඛ මේ සංසාරෙ අලුතින් අපි හොයා ගන්න දේවලුත් අන්න ඒ සෙරෙප්පු සපත්තු වගේ..

................................................................................................................................................................................................

අනේ අපේ හාමුදුරුවනේ... අනේ හාමුදුරුවනේ

අර සමන්ලතා නේද මේ පැත්තට දුවගෙන එන්නෙ..? මොකද මේ ලමය හදිසියෙම..

අනේ හාමුදුරුවනෙ ආච්චි අම්ම ගෙදර ගිය ගමන් පපුව අල්ලගෙන ඇඳට උනා සිද්ධාර්ථෙ තෙල් ටිකක් තියනවනම් දෙන්න

මම ආවාසගෙට දිව්වෙ හාමුදුරුවො මගේ පැත්තට හැරෙන්නත් කලින්.. මම එද්දි හාමුදුරුවො සමන්ලතා එක්ක පඩි පෙල බහිනව. මමත් වේගෙන් ඒ පස්සෙන් දිව්ව.
සමන්ලතාලගෙ පුංචි ගේ පැල ගාවට කීපදෙනෙක් ඇවිත් හිටිය. අපේ හාමුදුරුවො වඩිද්දි සේරමල අයින් උනා.
සමන්ලතාගෙ ආච්චි සෙම බේරී ගෙන අඳේ වැටිල.. අතපය දරකෝ‍ටු වගේ කඩා හැලිල.. ඇස් දෙක පහල ඇලේ ඉන්න තඩි ගෙම්බෙක්ගෙ වගේ එලියට පැනල.. මට පුදුම අප්‍රසන්නතාවයක් ඇති උනේ..අපේ හාමුදුරුවො මොනවාදෝ මන්තර වගයක් කියද්දි ගෑනු කෙනෙක් තෙල් ටික පපුවෙ ගානව

සමන්ලතා කැබිනට්‍ටුවට ඔලුව ගහගෙන අඬනව.. රෝස පාට මූන රතු වෙලා තියන හැටි දැක්කම පපුව හෝස් ගාල යනව.. මට සමන්ලතාගෙ ඔලුව අතගාන්න හිතුන..

"සමන්ලතා දැන් ආච්චිට හොඳයි.." මගේ හඬ අද ගොඩක් ආදරනීය වෙලා කියල මටම දැනුන..

සමන්ලතා ඔලුව උස්සල මගේ දිහා පුදුමෙන් බලල කාමරේට එබුන.. සමන්ලතාගෙ ලස්සනම ලස්සන රාමු කරපු පින්තූරෙකට මගේ ඇස් එබුන.. ඇත්තටම පන්සලේ පින්තූර වල ඉන්න සුරන්ගනාවියොන්ටත් වඩා ලස්සනයි.. මට මේක ගෙනියන්න පුලුවන්නම්...මේ ලස්සන මූන මට හැමදාම බලන්න තිබුන...

පින් සිද්ද වෙනව සංක අපේ ලොකු හාමුදුරුවො බුදු වෙන්න ඕන මගේ ආච්චිට හොඳයි.. සමන්ලතාගෙ මූනෙ දුක අස්සෙන් මතුවෙන හිනාව වැහිවලාවක් අස්සෙන් එබෙන ඉරටත් වඩා ලස්සනයි..

මම තාමත් පින්තූරෙ මූන අත ගගා ඉන්නව. සමන්ලතා ඒ ක දැක්කම මම දූවිලි පිහදානව වගේ ඒකට පොඩ්ඩක් පිම්බ..

ලස්සනයිද සංඛ්...?

හ්ම්ම්.... ගොඩාක්.. මම මේ ලෝකෙ දැකපු ලස්සනම පින්තූරෙ.. ඔයා හැබැහින් දකිනවටත් වඩා ලස්සනයි සමන්ලතා..

සමන්ලතා ලැජ්ජාවෙන් ඇඹරුනා. ඊට පස්සෙ පින්තූරෙ එයා අතට ගත්ත..

ටව්මෙ පින්තූර අලුත්වැඩියා කරන තැනකින් මම මේක පෙට්ට ගමක් අස්සෙ තිබිල අරගෙන ගිහින් ලඟදි හදන් අවේ
"මේ අපේ ආච්චි සංඛ..."

මොනවා.. මේ අර දැං සෙම පෙරන ආච්චි..? අර පීප්පයක් වගේ මහත.. මගේ හිතත් වාන් දමන්න ලං වෙච්ච තිසා වැවේ සොරොව්ව ගාව කැරකෙන දියසුලියක් වගේ අදහස් වලින් හෙම්බත් උනා.. ඒ අස්සෙ ලොකු හාමුදුරුවන්ගෙ හඬ පැහැදිලිවම ඇහුන..

සංඛ.. දැං සේරම හරි යමු පන්සලට..

ලොකු හාමුදුරුවො ඉස්සරහින් වඩිනව.. බලන්න ලස්සනයි ශාන්තයි.. පාර වැහි පොදට මඩ වෙලා.. මගේ ඇඟිලි කරු අස්සෙන් මඩ චිරි චිරි ගාල සද්ද කළා..

සංඛ.. මට මේ කලබලේ වටාපත අමතක උණා.. පොඩ්ඩක් දුවල ගොහින් ඒක අරං වරෙන් කොලුවො..

මම ඒක අරගෙන ආව අපේ හාමුදුරුවනේ...

හාමුදුරුවො ආපහු හැරිලා කරුණාවෙන් මගේ දිහා බැලුව

මොකද ළමයො මඩේම..? කෝ දාගෙන ගියපු සෙරෙප්පු දෙක..?

"ඒ ක මම සමන්ලතාලගෙ ගෙදර දාල ඇවිත් අපේ හාමුදුරුවනේ"
Read On Comments

Followers

Powered by Blogger.