සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

කපිල වස්තු පුරය


හීන් මැනිකා
සැදැහැවත්
හාතර පෝයටම සිල් ගන්න
ගමේ
උපාසක අම්මා..
කිලෝ මීටර් අටක් දිග පෝලිමේ
අන්තිම කොනේ දෙවැනියට.
අයිස්ක්‍රීම් එපා
පපුවෙ සෙම
මාරි බිස්කට්..?
බොහොම ස්තුතියි
පිං සිද්ද වෙච්චාවෙච්
කොහොම කන්නද නෝනෙ
දත් හයියිඅ නැති කොට?
විටක් කන්න ඕන
ඒත් මේ කොලඹ පාරවල් වල
කෙල ගහන්ට පුලුවනෑ...?
කොහොම හරි
ධාතු වහන්සේල වැඳගෙන
මිසක් මම නෙමේ යන්නෙ..
පී ඊ ඊ ඊ ක්...
කියුං කියුං...
මේ ආච්චි
කොනකට වෙන්න කෝ..
ඇමති තුමා වෙන්න ඇති
මතකයි දවසක් පිං
පඩිය හදා ගන්න
අමාත්තියාංසෙට ගිහින්
ඒ ක හදා ගන්න බැරුව
එද්දි ඔය වාගෙම
ලොකු වාහනයක්
මිදුලෙ තිබුන...
උන්නාන්සෙල බොහෝම
පිං බල තියන උදවිය
වෙන්නැති..
සමහර විට
බුදු හාමුදුරුවන්ගෙ
ලඟම නෑයො
වෙන්නටැ
නැත්තන් මේ ආත්මෙ
කොහේ ලැබෙන්නද
මේ බලගතු කං..?
පස්සට පස්සට
ආච්චි පාර මැද ඉන්නෙ
අයිනට යන්න..
පොලිස් අන්කල්
ආ මේ ඕ අයි සී මහත්තයගෙ
දුවනෙ
අන්කල් අම්මිත් ඉන්නව..
දුව යන්න ඔහොමම ඉස්සරහට
යන්න මඩම්..
අනේ හරියට රාජ කුමාරිකාවො
වගේ..
උන්දැලාට ඉතින් අපිට වගේ
පෝලිම් මොකටද...
මෙච්චර ඉක්මන්ට
ධාතුන් වහන්සේලා
දැක වැඳ ගන්න
පෙර ආත්මෙක
අඩු ගානෙ සුජාතා සි‍ටු දුව
කිරි පිඬු සූදානම් කරද්දි
කිරි ටිකවත් මිරිකල
දෙන්න ඇති..
අනේ සාදු...
ආච්චි ඔය වැටට බර දෙන්න එපා
පොලිමෙ ඉන්න හරියට..
සූ ...ශා..
ඔව් ඔව්..අර..
මෙගා නාට්ටියෙ
සුදාරි..
අනේ අපි හරී ආසයි
ඔයා රඟ පාන නාට්ටි බලන්න
අදනම් ලෙන්සුව විටරයි අතේ තියෙන්නෙ
අනේ මේකෙ අත්සනක් දාල යන්නකො..
තෑන්ක්ස් අ ලොට් අක්කි
යන්න යන්න ඉස්සරහටම යන්න
බායි..
අනේ අපි විතරයි පව් කාරයෝ
ඉටි රූපෙ වගේ
පෝලිනුත් නෑ..
කව්ද දන්නෙ
බුදු හාමුදුරුවන්ගෙ කාලෙ
රාජ බිසවක්ද කියල..

අම්මෝ තුනටිය..
කකුල් දෙකත් වාරු නෑ..
දෑන්නම් අමාරුයි..
ඔව් තවත්නම් ඉන්න
බැරි ගානයි..
මතකයි
ලොකු හාමුදුරුවො
දවසක් කිව්ව..
බුදු හාමුදුරුවො
දෙශනා කළාලු

"යෝ ධම්මං පස්සති
සෝ මං පස්සති"

ඔව් මම එහෙනම්
හැමදාම
උන් වහන්සේ දකිනවනෙ..
මොකටද පෝලිමේ ඉන්නෙ..?
මම යනව ගෙදර...

Blog Archive

Followers

Powered by Blogger.