සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

රාමසාන් පුර අටවක...



හිෆ්‍රාස් ඔයාට බැරිද අරයට තව චුට්ටක් වෙලා ඉන්න කියන්න..? නිරාශගෙ ඔළුව තිබුණෙ මගේ උර හිසේ උණාට ඇස් දෙක තිබුණෙ ඈතින් බැහැල යන ඉර ගාව.ඉර ටිකෙන් ටික ගාලු මුවදොර මුහුදෙ ගිලිල යද්දි නිරාශ ඒ දිහා බලාගෙන හිටියෙ පුදුම ලෝබකමකින්..

ඒ අව් රුදු හතරකට කලින් අද වගේ දවසක්.. ඊ ට පස්සෙ මෙතනට ආපු පළවෙනි වතාව මේ.ඒ ත් දුවගෙ වදෙන් බේරෙන්නම බැරි තැන.හීනෙකින් ඇහැරුණා වගේ මම වට පිට බැලුව.. දුව සරුංගලේ අල්ලගෙන ඈතට දුවගෙන ගියා...

දුව අපි දැං යමුද..? රෑ වෙන්නත් ළඟයි . අම්මත් බලාගෙන ඇති..
දුවගෙ මූණ පුරා අඳුරු වලාවක් ඇඳිල අහිංසක ඇස් මගේ දිහාට හැරුණ..

තාත්ති ඔයාට බැරිද අරයට තව චුට්ටක් වෙලා ඉන්න කියන්න..? ඉර දිහාට ඇඟිල්ල දික් කරල එහෙම කියපු දුව සරුංගලේ අරං ඈතට දුවං ගියා.. මගේ ආත්මයම ඒ වචන වලින් පිච්චිලා ගියා..

මම ආපහු බංකුව උඩට කඩාගෙන වැ‍ටුණ.
නිරාශ මොකද ළමයො අද මැලවිලා ගිහිල්ල..අද ඔයා දවල්ට කෑවෙ නැද්ද..?
නිරාශ ආදරෙන් ඔළුව දෙපැත්තට වැනුව..
අපේ ආගමේ සම්ප්‍රදායට අනුව අපි ජීවත් වෙන්නෙ. ඔයාට නෝඹි නෑනෙ ළමයො. මට මෙච්චර ආදරේ කරන්න එපා..
ආදරෙන් හිනා වුණු නිරාශ මගේ කණෙන් අල්ලල දෙපැත්තට හෙල්ලුව. එතකොට ඔයා අලුත් අවෘද්ධ දවසට නොනගතේ මගෙන් අහගෙන නොකා හිටියෙ ..? ඒ මොන සම්ප්‍රදාය නිසාද..?

ඇත්තටම මේ හැම ආගමකම ජාතියකම තියන හොඳ දේවල් ටික අරගෙන ඇයි මිනිස්සුන්ට ආදරෙන් ජීවත් වෙන්න බැරි..?

අපි යනගමන් ගංගාරාමෙටත් ගිහින් යමු හිෆ්‍රාස්..!
පංසල්..? ප්‍රශ්නයක් වෙයිද,,? මම මුස්ලිම්..

බය වෙන්නෙපා ළමයො.. බුදු හාමුදුරුවො ඔයාට පංසල් එන්නෙපා කියල කොහේවත් දේශනා කරල නෑ.. ආගමක් කියන්නෙ එක මිනිස්සු කොට්ඨාශයක් අදහන අනිත් අයට තහනම් ගුබ්බෑයම් විද්්‍යාවක් නෙමේ.. ජීවන දර්ශනයක්.. කාටත් පොදු..

අපිට තියන ප්‍රශ්න වලින් බේරෙන්නනම් ඔයා ටිකකට හරි මේ පැත්තට එන්න පැටියො. බොරුවට හරි.. ඔයා ඔයාගෙ ආගම අදහන්න.. මගේ සමාජයට පේන්න ෆර්ධාවක් දාගන්න ඔයාට බැරි නෑනෙ..? මට ඔයාව ඕන නිරාශ. ඒ කයි මෙච්චරම කියන්නෙ.. ප්ලීස්..ඔයා බුද්ධාගමේ.. මම මුස්ලිම්.. කවද හරි අපේ දරුවො මොන ආගම අදහාවිද මෙහම ගියාම..? 

ඔයා මුස්ලිම් වුණේ ඔයාගෙ අම්ම තාත්ත මුස්ලිම් නිසා.. මම බුද්ධාගමේ වුණේ අපේ අම්ම තාත්ත බුද්ධාගමේ නිසා.. ඔය ජාති ආගම් කියල බෙදාගෙන මරා ගන්න එකෙක්වත් ඉන්නවද හිෆ්‍රාස් තමන්ගෙ මොළෙන් ආගමක් ජාතියක් ‍තෝරගත්තු අය..? අපි අපේ උන්ට ඉඩ දෙමු උන්ගෙ මොළෙන් නියම දර්ශනය ‍තෝරගන්න.. ඉපදෙනකොට මේ ලෝකෙ කාඅටවත් ලේබල් නොගහනවනම් ගිනි තියාගෙන මිනී මර මරා සල්ලි දිදී මිලේච්ඡ විදියට බෙලි කපල දාල ආගම් ‍රැක ගන්න ඕන නෑ..එහෙම වුණාම අපේ දරුවොවත් අඩුම ගානෙ නිදහසේ ආදරේ කරාවි..

අපි දැංවත් යමුද දුව..? දූ මෙලෝ සිහියක් නැතුව සරුංගලේ අරං එහෙ මෙහෙ දුවනව..

තව ටිකකින්.. තාත්ති මට යන ගමන් ගංඟ බලන්න ඕන..

ගංඟ..? ඒ කව්ද පුතාගෙ යාළුවෙක්ද..?

නෑ තාත්ති.. අර ටෙම්පල් එකේ පුංචි අලි පැටිය..!!

දවසක් මම ගංඟාරාමෙ ගාවින් පුරුද්දට වගේ යද්දි දුවට ගංගව පෙන්නුව මතකයි. 

හිෆ්‍රාස් ඔයත් ගිය ආත්මෙ අලියෙක් වෙන්නැති.. දවසක් එහෙම කියපු නිරාශ මගේ අතක් අත් දෙකෙන්ම උස්සල එයාගෙ කරට දාගත්තෙ මම මහතයි කියල විහිළු කරන්න..

මොකද්ද ළමයො ගිය ආත්මෙ කියන්නෙ.. ඔන්න ඕකනම් මහ විකාරයක්..

ඇයි එහෙම කියන්නෙ,,? අපි දෙන්නත් ආත්මගාණක් එකට පතාගෙන එන්න ඇති..

පිස්සුද අනේ.. මේ ආත්මෙ මේ වගේ කච බච ගාන කෙල්ලෙක් බැඳපු මනුස්සයෙක් ඊ ළඟ ආත්මෙත් ඒ මෝඩ කමම කරයිද..? මම එහෙම කියල හිනා වුණේ නිරාශට තරහ යවන්න හිතළමයි..

හරි අපි මැරුනම මොකද්ද වෙන්නෙ..??

අපේ භෞතික ශරීරය විනාශයෙන් කෙළවර වෙලා ආත්මීය කොටස අල්ලාහ් ගේ අවසාන විනිශ්චය දිනය දක්වාම තියනව. මරණයේ සිට අවසාන විනිශ්චය දක්වා කාලය තුළ ‘අල්බර්ෂාන් ‘ කියන තැනක තමයි ඒක තියෙන්නෙ. අවසාන විනිශ්චය දෙවියන් වහන්සේ විසින් තීරණය කරල අපි සේරම ‘අල්ෂිරාන් ‘කියන පාලම ගාවට ගේනව.පව් කාරයො යද්දි පාලම අසිපත් තුඩක් තරමට කුඩා වෙලා එයාලව නිරයට ඇදල දානව අල්ලාහ්ට අනුකූල අය යද්දි ඒ පාලම ලොකු වෙලා ස්වර්ගයට යන්න පුළුවන් වෙනව..ඔය ආත්මගත බැඳීම්, සංසාරෙ මහ විකාරයක්...

දුවගෙ සරුංගලේ තවත් ළමයෙක්ගෙ සරුංගලේක පැටලිලා.. දැංවත් මේ ළමයට ඕක එපා වෙයිනෙ.. මම ටිකක්වෙලා බලං හිටිය සරුගලේ දැං නැතුවට දැං කඩා ගෙන යාවි කියල..

මොනවද හිෆ්‍රාස් තවත් බලාං ඉන්න කාලයක් නෑ.. ඉක්මන්ට මොනව හරි කරන්න.. මට නිරාශගෙ කට හඬ ආපහු ඇහෙන්න ගත්ත..

මම ඔයාට ආදරෙයි හිෆ්‍රාස්..! ඒක සාමන්්‍ය කෙල්ලෙක් කොල්ලෙක්ට කරන ආදරයක් නෙමෙයි.. සංසාරෙ පුරාම අරං ආව ආදරයක්... නිරාශාගේ සිනිඳු දෙතොල් හෙමින් හෙමින් මගේ තොල් මත ඇවිදිද්දි මම අමාරුවෙන් ආපහු පුරුදු වචන ටිකම ගැට ගැහුව

ඒ මොනව කිව්වත් ඔයා බුද්ධගමේ මම මුස්ලිම්. මටත් ඔයාව ඕන. ඇයි ඔයාට ලෝකෙට පේන්න විතරක් හරි ආගම මාරු කරන්න බැරි..? ඔයාමනෙ කියන්නෙ ආගම තියෙන්නෙ හදවතේ මිසක් උප්පැන්නෙ නෙමෙයි කියල..මාව තේරුම් ගන්න නිරාශ..

මහා වැහි වලාවක් කඩාගෙන හැලෙනව වගේ නිරාශගෙ කඳුළු කඩන් වැටෙන්න ගත්ත. මට ඒ මූණ තවත් බලං ඉන්න බැරි වුණා.. මම අහක බලං ඉඳපු ටිකට එයා ඈතටම ගිහින්..

වාහනේට බ්‍රේක් ගහගන්න බැරි තරම් වේගෙන් එයා පාර පනින්න යන්න ඇති.. එයා ආපහු කවදාවත්ම ආවෙ නෑ..

කඳුළු වලට බොඳ වුණු ඇස් අතරින් සරුංගලයක් ඈතට කඩාගෙන යනව යාන්තමට පෙනුණ.. ඒ මගේ දුව මෙච්චර වෙලා ආදරේ කරපු සරුංගලේ.. 
පුදුමයි දුව ඒ පස්සෙ දිව්වෙ නෑ.. ඇස්වල කඳුළු පුරවගෙන හිමින් හිමින් මං ගාවට ආව..
තාත්ති සරුංගලේ කඩාගෙන ගියා..
අපි යමු දුව දැං.. සරුංගලේ නැති වුණාට දුවට මම ඉන්නවනෙ.. මට ඒ වෙලාවෙ දුවගෙ සරුංගලේ බේරල දෙන්නයි තිබුණෙ.. මට එහෙම හිතුණෙ දූගෙ මූණෙ තිබුණු කියා ගන්න බැරි වේදනාව ඉවසගන්න බැරි නිසාමයි..

තාත්ති දුවට ආදරෙයි ගොඩාක්.. යමු අපි ගංඟවත් බලාගෙන යමු.. හෙට ආපහු එමු අලුත් සරුංගලයක් අරගෙන

මම දුවගේ හිස අත ගා නැගිටින්න හැදුවත් දූ මගේ අත එයාගෙ අත් දෙකින්ම අල්ලල එයාගෙ කර උඩින් දාගත්ත..

"මම ඔයාට ආදරෙයි තාත්ති..! ඒක සාමන්්‍ය දුවෙක් තාත්තෙක්ට කරන ආදරයක් නෙමෙයි.. සංසාරෙ පුරාම අරං ආව ආදරයක්."වෙනදා ආදරෙන් මගේ නළල සිඹින දුවගේ මුහුණ අද මගේ තොල් වෙත ළංවෙනවා යාන්තමට දු‍ටුවෙමි. .

මම ගල් ගැසී හිස් අහස දෙස බලා ගතිමි.. හඳ මා දෙස බලා සිටී.. ඇත්තටම ඒ රාමසාන් සඳද පුර අටවකද..? මම තවමත් කල්පනා කරමි..

Followers

Powered by Blogger.