සූස්තිය
රෝල් කරපු ජීවිතේ හෙමි හෙමින් අදින්නට ...

පිය සිතුවම්...



උදෑසන අරුනාලෝකය අරගෙන තමාලි ටීචර් වැටකෙයිය මලක් වගේ මැටි ගහපු කොට බිත්තියෙන් පංතිය ඇතුලට ආව. පොත් ටිකත් පපුවට තුරුල් කරගෙන ටීචර් හැමවෙලේම යනව දකිද්දි මටත් මේ වගේ අක්ක කෙනෙක් හිටියනම් කොච්චර හොඳද කියල හිතුනු වාර අනන්තයි..මොකද මට ජීවිතේ වැඩිපුරම කරුණාව දැනිල තියෙන්නෙ තමාලි මිස්ගෙන් නිසා.

ආයුබෝවන් ළමායි..කෝ උදේම ගන්න බලන්න ඊයෙ මම දුන්නු වැඩේ.මුදල් නෝට්‍ටුවකට සුදුසු මෝස්තරයක්.. කෝ ගන්න..

සර බර ගගා හතර වටේම චිත්‍ර පොත් පෙල්ලන අස්සේ මට ඇහුනෙ ඊයෙ රෑ තාත්ත කඩුල්ලෙ පනින සද්දෙ.

හෙට මම නිවසට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිශෙන් ගත වෙනවා
කාසි මල්ල... කෝ මේ සඳුන් ..ඒ යි පොඩි එකා මෙහෙ වරෙන් මෙන්න රුපියල් පන්සීයක් මට දියසායම් ගේන්න වැලාවක් තිබුනෙ නෑ උඹ හෙට උදේම යන ගමන් ගනින්..

අනේ තාත්තෙ මේ රුපියල් සීයක්නෙ..?

රුපියල් සීයක්..? මම හිතුවෙ පන්ශීයක් ඉතුරු උණා කියල.. හරි ඕකෙන් ඕන මගුලක් කර ගනින්.. යකෝ උඹලයි මිසීගෙන් අහපන් සීගිරියෙ අප්සරාවියො අවෘදු සිය දාස් ගානක් අගේට ඉන්නෙ ඇන්දෙ ඔය කෙහෙල්මල් වොටර් කලස් තිබිලද කියල. මම ඇහුව කියපන්..

මම රුපියල් සීය ගුලි කරගෙන කඳුලු පිරුනු ඇස් වහගෙන පිල උඩින් වාඩි උණා...

මොකද සඳුන් කඳුලු පුරෝගෙන..?නැගිටින්න පුතා.. කෝ මොකද්ද ඔය ගුලි කරගෙන ඉන්නෙ..කෝ දෙන්න මෙහාට.. ඒ තමාලි මිස්ගෙ හඬ

මම අතේ ගුලි වෙලා තිබ්බ රුපියල් සීය මිස්ගෙ අතට දුන්න..

ඇයි පුතා මේ නෝට්‍ටුවෙ එක එක ඒව ඇන්දෙ..?පුතාට පාට පෙට්ටියක් පොතක් තිබ්බෙ නැද්ද..?

මම ඔලුව වැනුව.. මිස් ආදරෙන් ඔලුව අතගාල

මේ මොකද්ද පුතා ඇඳල තියෙන්නෙ..?

ඔය අපේ තාත්ත මිස්.. මටත් ආසයි අපේ තාත්තත් කවද හරි හොඳ මිනිහෙක් වෙලා මේ සල්ලි කොල වගේම වටින කෙනෙක් වෙනව දකින්න..
මිස් හැරෙද්දි සාරි පොටෙන් මූන වහගත්තෙ මට පේන්න හිනා වෙන්න බැරි නිසාද අඬන්න බැරි නිසාද කියල හිතා ගන්න මම තාම පොඩි වැඩියි...

අම්ම මිදුලෙ පඩංගුව උඩින් වී ටික දාල අත ගගා ඉන්නව.. මම රුපියල් සීය දිහා බලාගෙන පිල උඩ වාඩි වෙලා හිටියා..තාත්ත කොහේදෝ යන්න ලේස්ති වෙනව
කෝ උඹ ඕකෙන් මුකුත් ගත්තෙ නැද්ද.. මෙහෙ දීපන් එහෙනම් පොඩි උන්ට සල්ලි දුන්නම නරක් වෙනව..

තාත්ත එහෙම කියලා රුපියල් සීයත් උදුරන් ශර්ට් එකත් ඇඳ ඇඳ පාර පැත්තට ගියා..

අනේ මෙහෙමත් බේබෙද්දෙක්.. මට මේ පොඩි එකා දැක්කම.. අම්මට වාක්්‍ය කියවල ඉවර කරන්න උනේ නැත්තෙ හාමුදුරුවොයි ඉස්කෝලෙ මහත්තයයි තව කීප දෙනෙකුයි කඩුල්ල පැන්න නිසා. තාත්ත එකත් පසට වෙලා හාමුදුරුවන්ට වැඳල ඊ ට වඩා වේ ගෙන් ගියා..

උපාසක නෝන අපි මේ ආවෙ වැදගත් කාරනාවකට..
අම්ම රෙද්ද පිලිවෙලක් කරමින් ඇඟේ කා‍ටුව පිහිද පිහිද නැගිටිද්දි මම අම්මගෙ අත අස්සෙන් රින්ගල එබුන..

අපි විහාරගෙයි වැඩයි චෛත්තියෙ වැඩයි එන පෝයට කලින් ඉවර කරල විවෘත කරන්න කියල හැකි ආදරයක් පන්සලට ගෙනත් දෙන්න. මේ ඇත්තන්ටත් අමාරු ඇතිනෙ. පුලුවන් විදියට කරන්න..

හාමුදුරුවනෙ මට පුලුවන් ලොකු ආධාරයක් කරන්න.. මම ආසාවෙන් එහෙම කියද්දි අම්ම පුදුමයෙනුත් හාමුදුරුවො ආදරයෙනුත් ආපු පිරිස උපහාසයෙනුත් මගේ දිහා බැලුව

ඒක අගෙයි අපේ පුංචි උපාසක ඇත්තන්ට කීයක් විතර ආධාර කරන්න පුලුවන්ද..? හාමුදුරුවො බැරෑරුම් විදියට ඇහුව..

මට පුලුවන් රුපියල් සීයක්ම දෙන්න..

හම්මෝ ඒ වගේ ලොකු ගානක් ලැබුනොත් අපිට චෛත්තියේ වැඩේ ලේසියෙන්ම ඉවර කරගන්න පුලුවන් නොවැ.. එහෙම කියපු හාමුදුරුවො මගේ හිස අතගාල පිරිස එක්ක අම්මටත් මොනවාදෝ කු‍ටු කු‍ටු ගාල යනව දැක්ක.. මම වේගෙන් තාත්ත ගියපු පැත්තට දිව්ව..

මම ආපහු හති දාගෙන දුවගෙන එද්දි අම්ම කුස්සියේ අල වගයක් තම්බනව.. අම්මෙ මට තාත්ත අල්ලගන්න බැරි උනා..

ඒ මනුස්සය කොහේ හරි ගුබ්බෑයමකට යන්න ඇති.. අපිටත් කන්න බොන්න නැති එකේ කොහොම ඔව කරන්නද අපි මග ඇරල ඉමු පුතේ.. එහෙම කියපු අම්ම අල ගුලියක ලුනු මිරිස් දාල මගේ ඇතට දුන්න..

දවස් කීපයක් ගෙවිල ගියත් රුපියල් විස්සකට වඩා ඉතුරු වුනෙත් නෑ.. මම රෑ පුරා එලියට වෙලා කල්පනා කළා

කොල්ලො උඹ මොනවද ඔය හැටි කල්පනා කරන්නෙ.. ගෙට වරෙන් .. ඒ අම්මගෙ හඬ

නෑ අම්මෙ මගේ රුපියල් සීය ලැබුනොත් චෛත්තිය ඉවරකරගන්න පුලුවන් කියලනෙ හාමුදුරුවො කිව්වෙ එදා.. ඒක දීගන්න බැරි වුනොත් ලොකු අපරාධයක්.

අම්ම හිනා වෙවි කුස්සිය පැත්තට ගියා ඈතින් ලස්සනට හඳ පායගෙන එනව. පෝයත් ලඟයි.. හරියට මට අවෘද්දට මාම ගෙනාපු රබාන වගේ.. මම තීරනේකට ආව..

පන්සලේ පල්ලියේ දහඩියෙන් අප තැනූ පිලිම දාගැබ් පෙනේ
ලෝකයක් දන නැමූ ඒ අපේ ශක්තියයි..
එකම සින්දුව බස් තුනකට වඩා කියන්න උනේ නෑ සෙනග පිරුනු දවසක් නිසා රබාන උඩට රුපියල් සීයකට වඩා එකතු වුනා..

මම ආසාවෙන් සල්ලි ටික ශොපින් එකක දාගෙන ටව්මෙන් ගම පැත්තට ආව.. කවෘ හරි දැක්කොත් අද ඉස්කෝලෙ නොගිය එක ගෙදරට කියාවි යන බයද හිතේ පෙරලි කරනව. ඒ අස්සෙන් මට අශ්වයෙක් ඇඳපු පුංචි කඩ කාමරයක් පෙනුන.. දවසක් මාත් එක්ක ටව්මට ආපු වෙලාවක තාත්ත මේක ඇතුලට ගියේ " මේ තමයි පුතේ බැංකුව, හිටපන් මම කීයක් හරි දාල එන්නම් කියල"

මට මේ පොඩි සල්ලි ගෙදර අරන් යන්න බෑ.. කොහොම හරි බැංකුවට දීල නෝට්‍ටුවක් ගන්න ඕන..

මම ඇතුලට යද්දි ඇතුලෙ හිටපු අය පුදුමෙන් මගේ දිහා බැලුව, හතර වටේම ටී වී වල චිත්‍රපටි දාල අශ්වයො දුවන ඒ ව.. මම ටිකක් වෙලා ආසාවෙන් ඒ දිහා බලන් ඉඳල මැනේජර් මහත්තය ගාවට ගියා.

මොකද කොල්ලො ඔට්‍ටුවක් දාන්නද..?
නෑ මහත්තය මට මේ සේරම අරන් රුපියල් සීයෙ නොට්‍ටුවක් දෙන්න..

මගේ දිහා පුදුමෙන් බලපු මහත්තය සල්ලි ගොඩ දිහාද හොරෙන් බලමින් මෙතන රුපියල් සීයක් නෑ කමක් නෑ මේක අරන් පලයන් ...

මහත්තය රුපියල් සීයෙ නෝට්‍ටුවක් මේසෙ උඩ තිව්ව..මේසෙ උඩ මම හීන දැකපු මගේ තාත්ත හිනාවෙවී හිටිය.ඔව් මේ මගේ තාත්ත.. මම ආසාවෙන් ඇඳපු තාත්ත, මගේ හිත සතුටින් පිරිල ගියා. මම තාත්තව පන්සලට ගෙනියනව.. එහෙම කියපු මම රුපියල් සීය අරගෙන ගෙදර දිව්ව.. මම ඇඳපු රූපෙ එදාටත් වඩා ලස්සනට මගේ දිහා බලන් හිටිය..
උඹ කොහේද ඉස්කෝලෙ නොයා ගියේ..? කෝ බිත්තියෙ එල්ලල තිබුන රබාන..? මට සේරම ආරන්චියි... හිටපන් ‍තෝ අද මම.. තාත්ත එහෙම කියල කොස්ස දෙකට කැඩුව..
අම්ම දුවල ඇවිත් මම බේර ගනිද්දි මෙගේ ඇඟ හිරි වැටිල අඬන්නවත් පන නෑ..

අම්මෙ හෙට පෝය.. මම රුපියල් සීයක් හොයා ගන්න ගියේ.. එහෙම කියපු මම කඳුලු වලට පෙඟිල තිබුන රුපියල් සීය අම්මට දික් කළා..

මම බැංකුවට ගිහින් තාත්තව හොයාගෙන ආව තාත්තෙ..

තාත්ත පුදුමෙන් නෝට්‍ටුව දිහා බලන් ඉඳල කමිසයක් අඟට දාගෙන ආපහු රුපියල් සීය උදුරන් කඩුල්ල පැනල වේගෙන් යනව මම යාන්තමට දැක්ක..

අනේ හැබැටම හෙන ගහනව මනුස්සයෝ තමුසෙගෙ මේ තිරිසන් වැඩ වලට ආපහු පූජ කරපන් ඕක රේස් බුකියට. තුහ් විතරක් මෙහෙමත් අසමජ්ජාති තාත්තෙක්.. උඹ නාඩ හිටපන් මගෙ පුතේ..

පහුවද උදේ වෙනකන්ම තාත්ත අපහු ආවෙ නෑ..අද පන්සලේ චෛත්තිය විවෘත කරන දවස.. මමත් අම්මත් එක්කම පන්සලට උදෙන්ම ගියා.. සුදෝ සුදු ඇඳගත්තු විශාල සෙනගක් අස්සෙ මමයි අම්මයි ලස්සන චෛත්ය රාජයා දිහා බලාගෙන ඊටත් වඩා ලොකු දුකක් හිතේ තියාගෙන හිටිය..

උත්සවේ පටන් අරගෙන ලොකු හාමුදුරුවන්ගෙ බන ලව්ඩ්ස්පීකරෙන් ගමටම ඇහුන

අද අපි සහභාගී වෙලා ඉන්නෙ හැමෝගෙම දායකත්වයෙන් ගොඩ නැගුනා වූ නව චෛත්ය රාජයානන් වහන්සේ හා විහාරගෙයි බැතිමතුන්ගේ වන්ධනාමානයට පූජා කිරීමේ අවස්ථාවට.. ඇත්තටම මේ සඳහා ධායකත්වය දැක්වූ සතර පේරුවේ ධායක ඇත්තන් සිහිපත් නොකරම බෑ..

මම අම්මගෙ අත තව තදින් අල්ල ගද්දි ඇස් දෙකට දන්නෙම නැතුව කඳුලු ඉනුව..

අපිට හැම ආධාරයක්ම වටිනව වුනත් රුපියල් විසිපන්දාහට වඩි ආදාර ටික පමනක් මේ අව්ස්ථාවේ කියල ඉතුරු ටික දැන්වීම් පුවරුවේ සඳහන් කරන්න තීරනය කලා..


ඉස්කෝලෙ මහත්තයා හැමදාම ආධාර කරනව වගේ රුපියල් තිස්දාහක් පරිත්්‍යාග කලා
චාර්ලිස් නෝනා නැසීගිය දොන් හෙන්ඩ්‍රික් මැති තුමාට පින් පිනිස රුපියල් හතලිස් දාහයි..
නිර්මාල් දොස්තර මහත්තයා රුපියල් පනස්පන්දාහයි..

අනේ මටත් කීයක් හරි දෙන්න තිබුනනම්.. රුපියල් සීය දුන්නත් නමනම් නොකියවෙන බව ඇත්ත, ඒත් කවද හරි මමත් ලොකු උණාම චෛත්තිය දකිද්දි ගඩොල් කැටයක් හරි මම දුන්න කියල සතු‍ටු වෙන්න තිබුන.. අම්මට වඩාත් තුරුල් වෙලා ඉඳපු නිසාද මන්ඩ අම්මට මගේ හදවත ඇහිලද කොහේදෝ ආදරෙන් ඔලුව අතගෑව

ලොකුභන්ඩාර වලව්වෙ හාමු මහත්තය රුපියෛ හැත්තෑ පන් දාහයි.. හාමු මහත්තය ගල් පිලිමයක් වගෙ උජාරුවෙන් හිටියත් හාමු මැණිකේ හතර වටේම ඇස් කරකව කරකව ඒ ක හැමෝටම ඇහුනාදයි පිරික්සුවේ ඉතාම ආඩම්බරයකිනි..

ටව්මෙ ව්්‍යාපාරික වෙළඳ ප්‍රජාව අතරින් වීරවංශ මහත්තය රුපියල් අසූ දාහක් පරිත්්‍යාග කළා.. ටව්මෙ හරක් මස් කඩේ මුදලාලි සිහින් සිනාවකින් හාමුදුරුවන්ට හිස පහත් කළා

අපේ පලාත්සභාවෙ වලිසුන්දර මැති තුමා රුපියල් ලක්ශයක්ම මේ සඳහා පරිත්්‍යාග කලා.. වලිසුන්දර ඇමති තුමා ඡන්දදායකයන් දිහා ආඩම්බරෙන් ඔලුව හරව හරව බැලුව

අපේ චෛත්තියේ වැඩේට වටිනාම ආධාරය ලැබිල තියෙන්නෙ ශබ්ධ විකාශන යන්ත්‍රය පෙරටත් වැඩිය සද්දෙයි.. හැමෝම කන් යොමාගෙන හිටියෙ කව්ද ගමේම සල්ලි කාරය බලන්න.. ඒත් වලිසුන්දර ඇමති තුමා, වීරවන්ශ මුදලාලි කලබලෙන් පිරිස දෙස බැලුවෙ ඔව්න්ට වඩා සල්ලිකාරයන් ගමේ සිටීදැයි සැකයෙනි.. මමත් කට්ටියට උඩින් අමාරුවෙන් එබුනෙ කව්ද වැඩිම ගානක් දුන්නෙ කියල බලන්න ආසාවෙ..

"සඳුන් අකලංක පුතා රුපියල් සීයයි"

මම ගොළු වෙලා පිරිස අතරෙන් බලන් ඉද්දි තාත්ත සෙනග අස්සෙන් අහිංසක විදියට ඉස්සරහට ඇවිත් මගේ දිහා බලන් හිටිය.අම්ම චීත්ත කොනින් කඳුලු පිහ දැම්ම. මම අම්මගෙ අත අතෑරල තාත්ත ගාවට දිව්ව.. ඇවිත් හිටිය හැමෝම අත්පුඩි ගහන්න පටන් ගත්ත..

"අම්මේ තාත්ත පන්සල් ඇවිත්"
තාත්ත මාව වඩා ගෙන දාතු මන්දිරේට ගියා එතන තිබුනු වීදුරු පෙට්ටියේ තියන සල්ලි කොල අස්සෙ රුපියල් සීයක තාත්තගෙ රූපෙ ලස්සනට මතුවෙලා පෙනුන..

තාත්තෙ ඒ රුපියල් සීය ආපහු නරක තැන් වලට යන එකක් නෑ නේද..?

තාත්ත මගේ මූන ආදරෙන් ඉඹිද්දි අපි දෙන්නගෙම කඳුලු හිමිහිට බිමට වැ‍ටුන...

................................................................................................................................................................................................

"අප්පස්මෙකෙ පවෙච්ඡන්තී බහුනෙකෙන දිච්ඡරෙ
අප්පස්මා දක්ඛිණා දින්නා සහස්සෙනා හිමං මිතා"

ඇතමෙක් තමාට ස්වල්ප වස්තුවක් ඇති කල්හිද එයින් දෙති
ඇතමෙක් බොහෝ වස්තුවෙන්ද ස්වල්පයකුදු නොදෙති
ස්වල්පයක් ඇති අයෙකුගේ සවල්ප දීමක් ද පොහොසතෙකුගේ දහසක් දීම වැනිය..

-දේවතා සංයුක්ත-

Followers

Powered by Blogger.